අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහි නඩුවේ වැඩිදුර විභාගයට දින නියම වෙයි

මාර් 15, 2021

    අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ ගොනුකළ නඩුවක වැඩිදුර විභාගය ජුලි මස 28 වන දා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.

    මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

    එම අවස්ථාවේදී විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් එම නඩුවේ සාක්ෂිකාරිය ලෙස නම් කර සිටින "රෝස් ස්මිත්" නැමැති ඔස්ට්‍රේලියානු ජාතික කාන්තාව මියගොස් ඇති බව පැමිණිල්ල විසින් මුලදී ප්‍රකාශ කළත් එම කාන්තාව තවමත් ජීවතුන් අතර සිටින බව දැනුම් දුන්නා.

    එම කාන්තාව පිළිබඳ විස්තර සොයා අධිකරණයට දැනුම් දීම සඳහා තමන්ට කල් ලබාදෙන ලෙස ඉල්ලීමක් කළ ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා එම සාක්ෂිකාරියගෙන් "ස්කයිප්" හෝ වෙනත් අන්තර්ජාල මාධ්‍යයකින් සාක්ෂි සටහන් කරගැනීමට හැකි වූවොත් එම නඩු කටයුතු සම්බන්ධයෙන් අවසන් තීන්දුව ගැනීමට හැකිවනු ඇති බවත් පෙන්වා දුන්නා.

    ඒ අනුව නඩුවේ වැඩිදුර විභාගය ජුලි මස 28 වනදා පැවැත්වීමට ද අධිකරණය නියම කළා.

    ව්‍යාජ ඇටෝර්නි බලපත්‍රයක් සකස් කර ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයෙකු වන බ්‍රයන් ෂැඩික් නැමැත්තාට අයත් "ඩිජිටල් නොමිනීස්" නැමැති සමාගමට අයත් කොටස් විකුණා රුපියල් මිලියන 20ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් ඉකුත් යහපාලන රජය සමයේ නීතිපතිවරයා විසින් උදය ගම්මන්පිල අමාත්‍යවරයාට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබුණා.

    Latest News