මහින්ද ඇතුලු පොහොට්ටු නඩයට දුමින්දගෙන් කනේපහරක්(වීඩියෝ)

ජන 31, 2019
  • ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කණ්ඩායමක් විදිහට යාමේ කණගාටුවක් ඇතත්, හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියට හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිවකුටත් වෙනම පක්ෂයක් බිහි කරන්න ඉඩ නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසයි.

    මේ අතර ඔහු කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩන්න හෝ පක්ෂයෙන් එළියට යෑමට කිසිම අවශ්‍යතාවක් නොමැති බවයි. අනුරාධපුරයේ පැවති ජනහමුවකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කීපයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව කියා සිටියේය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක - “ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රථිසංවිධාන කටයුතු පෙබරවාරී 01 වැනි දින (හෙට) අනුරාධපුරයෙන් ආරම්භ කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ ආරම්භය අවසානයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරයෙක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බලය හිමි පළාත් සභාවන් දක්වා මේ ජයග්‍රහණය ගෙන යන්න අපි බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අනුරාධපුරයෙන් තමයි සෑම ජයග්‍රහණයකටම මුළ පුරලා තියෙන්නේ. 

    දැන් දයාසිරි ජයසේකර මැතිතුමා පක්ෂයේ මහ ලේකම් විදිහට අපි සියළු දෙනාම එකට සාකච්ජා කරලා අපි පොදු වැඩසටහනක් ලෙස තමයි මේ ප්‍රථිසංවිධාන වැඩපිළිවෙල ලෙස ඉදිරියට ක්‍රියාත්මක කරන්නේ. මේ පක්ෂ ප්‍රථිසංවිධාන වැඩ කටයුතු කරලා අපි කිසි විටකවත් වෙනත් පක්ෂයකට ජනාධිපති අපේක්ෂකත්වය ලබා දෙන්නේ නෑ, දුමින්ද දිසානායක පහුගිය කාළය පුරාම පැහැදිලිවම ප්‍රකාශ කරලා තියෙනවා භය නැතිව, බොහෝම නිර්භීතව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඊළඟපාර අපේක්ෂකයා වෙන්නෙත් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කියලා. ඒ වගේම අපේ අපේක්ෂකයා තමයි 2025 වනතුරු රටේ ජනාධිපතිවරයා බවට පත් වෙන්නෙත් කියලා.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්- ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණත් එකතු වීම සම්බන්ධයෙන් කිසිවෙක් තැතිගන්න අවශ්‍යය නෑ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස අපි පහුගිය පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් කල අපේ අපේක්ෂකයෝ සියලු දෙනාම අති ගරු ජනාධිපතිතුමන්ගේ නියෝජිතයෝ විදිහට ඉන්නවා.

    ඒ වගේම මේ දිනවල ජාතික ආණ්ඩුවක් නැවත හැදීම ගැන කථා කරනවා. මම පුද්ගලිකව විශ්වාස කරන්නේ දැනට තියෙන්නෙත් ජාතික ආණ්ඩුවක් කියලා. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ආණ්ඩුවේ නායකයා, කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා, එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත් සභාපතිවරයා. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ආණ්ඩුව නියෝජනය කරනවා කියලා මම විශ්වාස කරනවා.

    රට තුළ දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් බොහෝ විට තමන් බලයේ ඉන්න කොට එක මතයක්, බලය නැති වෙන කොට තවත් මතයක් , බලය ලබා ගැනීම සඳහා තවත් මතයක් දරන අවස්ථා අපි බොහෝ විට දැක්කා. ඒ වගේ තමයි ඇමරිකාවට කිසිදු අවශ්‍යතාවයක් නෑ ලංකාව තුළ හමුදා කඳවුරක් ඇති කරන්න, ඒ වගේම ලංකාවේ පුරවැසියෝ විදිහට අපි සූදානම් නෑ ඇමරිකාවට ලංකාව තුළ හමුදා කඳවුරක් ඇති කරන්න දෙන්න. ඒ නිසා මේක අනවශ්‍යය භියක් මේ ඇති කරන්නේ. මේ සම්බන්ධයෙන් සිදු කරන ප්‍රකාශ ඇහුවම අපිට හිනා යනවා. මේ සම්බන්ධයෙන් ඇතැම් ස්වාමීන් වහන්සේලා පවා ඇමරිකන් භීතියක් ගැන කථා කරනවා හැබැයි ඒ කණ්ඩාය මම ඇමරිකාවේ පුරවැසිභාවය තියෙන පුද්ගලයෙක්ව මේ රටේ ජනාධිපතිවරයා බවට පත් කරන්න කියලා කථා කරනවා. ඇමරිකන් කඳවුරක භීතියක් ගැන කථා කරන ගමන් ඇමරිකන් පුරවැසියෙක්ට මේ රටේ ජනාධිපතිකම දෙන්නත් කථා කරනවා. මේවා දිහා උපහාසයෙන් බලා ඉන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ.

    පහුගිය දිනවල ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ මන්ත්‍රීකම බේරා ගන්න අපි උදව් කරලා මන්ත්‍රීකම රැකලා දීලා තියෙනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු පොහොට්ටුවේ එදා සාමාජිකත්වය අරගෙන බොහෝම ආඩම්බරයෙන් අපි පොහොට්ටුවේ කියපු කට්ටිය නීතිමය ගැටලුවක් එන කොට නෑ අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කියන කොට, මේ අය අපේම හිතවතුන් නිසා, අපේම කණ්ඩායමක් නිසා ඒ අයට අපි ඉඩක් දුන්නා. හැබැයි ඒ අය ඒ වාසිය අරගෙන දැන් ආයෙත් තමන්ගේ හැබෑ පක්ෂය මොකක්ද කියලා කියනවා. මේක තමයි යථාර්ථය. කවුරු කොහොම කිව්වත් මේ අය පොහොට්ටුවේ සාමාජිකයෝ නෙමෙයි කියලා මං එදා ඉඳන් කිව්ව දෙයක් ඒ අය පොහොට්ටුවේ සාමාජිකයෝ, හැබැයි ඒ අයගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බේරලා දෙන්න ඒ අයට උදව්වක් අනුකම්පා සහගතව අපි කළා.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩන්නවත් මේ වෙලාවේ අපි කවුරුවත් පක්ෂයෙන් එළියට යන්න හෝ පක්ෂය කඩන්න මේ කිසිම කෙනෙකුගේ බලාපොරොත්තුවක් නෑ යැයි පැවසීය.