රවිරාජ් ඝාතන තීන්දුවට අභියාචනයක්

ජන 30, 2019

    පා. ම. නඩරාජා රවිරාජ් ඝාතන සිද්ධියේ විත්තිකරුවන් නිදොස් කිරීම, නීතිවිරෝධී යැයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලා පෙත්සමක් අභියාචනාධිකරණයට අද(30) ඉදිරිපත් කර තිබේ.

    දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතන සිද්ධියේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය දුන් තීන්දුව නීතිවිරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා එම මන්ත්‍රීවරයාගේ බිරිඳ වන ශෂීකලා රවිරාජ් විසින් අදාළ පෙත්සම ඉදිරිපත් කර ඇත.

    මෙම ප්‍රතිශෝධන පෙත්සම දීපාලි විජේසුන්දර සහ අචල වෙංගප්පුලි යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබූ අතර එය අප්‍රේල් 04 වැනි දින යළි කැඳවන ලෙස නියම කර තිබේ.

    එහිදී මෙම පෙත්සමේ දෙවන වගඋත්තරකරු ලෙස නම් කර සිටින නාවික ලුතිනන් කමාන්ඩර් ප්‍රසාද් හෙට්ටිආරච්චි නැමැත්තා බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබි‍ණ. එහිදී ප්‍රසාද් හෙට්ටිආරච්චි අධිකරණයට දන්වා සිටියේ තමා මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින නිසා නීතිඥවරයෙකු ඉදිරිපත් කිරීමට මාස 2ක පමණ කාලයක් ලබාදෙන ලෙසයි. ඒ අනුව මෙම පෙත්සම අප්‍රේල් මස 4 වැනි දින යළි කැඳවීමට නියෝග කළ අතර, එදිනට නීතිඥවරයකු යොමු කරන ලෙස ද පවසා ඇත.

    රවිරාජ් මන්ත්‍රීවරයාගේ බිරිඳ සිය ප්‍රතිශෝධන පෙත්සමේ සඳහන් කර ඇත්තේ, රවිරාජ් ඝාතන නඩුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නීතිපතිවරයා විසින් ගොනුකර තිබියදී එය ජූරි සභාවක් ඉදිරියේ විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය ගත් තීරණය නීතියට පටහැණි බවයි. එබැවින් විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරමින් කොළඹ මහාධිකරණ ජූරි සභාවක් විසින් දුන් තීන්දුව අහෝසි කර ඔවුන් වරදකරුවන් ලෙස නම් කරන මෙන් පෙත්සම්කාරිය අභියාචනාධිකරණයෙන් ඉල්ලා ඇත.

    Latest News