නුවර, නුවරඑළිය, මාතලේ නාය අවදානම තවදුරටත්

ඔක් 25, 2018

    නුවර, නුවරඑළිය මාතලේ දිස්ත්‍රික්කවලට නිකුත් කර ඇති නාය අනතුරු ඇඟවීම තවදුරටත් වලංගු බව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.

    නායයාම් ලක්ෂණ පිළිබඳ ලබාගත් වාර්තා අනූව රත්නපුර දිස්ත්‍රික්කයේ පවුල් 15ක් ඉවත් කිරීමට පියවර ගත් බව, එම මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා ප්‍රකාශ කරයි.

    මේ අතර දිවයිනේ පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීම ඉදිරි දින වලදීත් පවතිනු ඇතැයි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අද දිනයේදී දිවයිනේ අහස වලාකුලින් බරව පවතිනු ඇති.

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100-150 තද වැසි ඇති වේ.බස්නාහිර, ඌව, වයඹ සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 පමණ තරමක් තද වැසි ඇති විය හැක.

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දෙයි.

    දිවයින වටා මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට තද වැසි ඇති වියහැක.

    මඩකළපුව සිට කන්කසන්තුරය හරහා පුත්තලම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කී.මී. 20-30 පමණ වේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සුළං නිශ්චිත දිශාවකින් තොරව හමන අතර සුළගේ වේගය පැ.කී.මී. 10-20 පමණ වේ.

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැක.

    Latest News