ජොන්ස්ටන් වත්කම් බැරකම් නඩුවෙන් නිදහස්

ජන 29, 2019

    අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් සිය වාර්ෂික වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකළ බවට චෝදනා එල්ල වී සිටි හිටපු අමාත්‍ය සහ එකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

    2010 වසරේ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් සිය වාර්ෂික වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකිරීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කොට අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනුකර තිබිණ.
    දීර්ඝ නඩු විභාගයකින් පසුව  තීන්දුවක ප්‍රකාශයට පත් කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විත්තිකරුට එරෙහිව අල්ලස් කොමිසම ඉදිරිපත් කළ චෝදනාව සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී නොමැති බව සිය තීන්දුවෙන් සඳහන් කර තිබිණ.
    ඒ අනුව විත්තිකරු අදාළ චෝදනා වලින් නිදොස් කොට නිදහස් කරන බවයි, විනිසුරුවරිය සිය තීන්දුවෙන් සඳහන් කර තිබුණි.
    2010 වසරේ සිට 2014 වසර දක්වා කාලසීමාව තුළ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් සිය වාර්ෂික වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකළ බවට චෝදනා කරමින් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් නඩු 5ක් ගොනු කළ අතර ඉන් එක නඩුවක තීන්දුව අද දින ප්‍රකාශයට පත් කර තිබේ.
    Last modified on අඟහරුවාදා, 29 ජනවාරි 2019 13:36

    Latest News