ජනමාධ්‍යවේදීන්ටද එන්නත ලබාදෙන්නැයි,ඉල්ලීමක්

පෙබ 18, 2021

    ජනමාධ්‍යවේදීන් විසින් සිදු කරනු ලබන රාජකාරීමය කටයුතු වල ස්වභාවය අනූව විවිධ මාධ්‍ය ආවරණ කටයුතු සඳහා ඔවුනට සහභාගී වීමට හේතු වන බැවින් කොවිඩ් වෛරස අවධානම ඇතිවන කණ්ඩායමක් වන මාධ්‍යවේදීන් හට ප්‍රමුඛතාවය ලබා දෙමින් කොවිඩ්-19 ප්‍රතිශක්තීකරණ එන්නත ඉතා කඩිනමින් ලබා දෙන ලෙස ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් ජී විජේවීර මහතා සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ලිඛිතව ඉල්ලීමක් කර තිබේ.

    රටේ විවිධ ස්ථානවල ගමන් කරන මෙන්ම විවිධ නිලධාරීන්,සාමාන්‍ය ජනතාව සමග නිරන්තරයෙන් සබඳතා පවත්වන පිරිසක් වන මාධ්‍යවේදීන් මෙම අවධානම් තත්වයේ ඉදිරිපෙළ කණ්ඩායමක් වන බව ද ලේකම්වරයා විසින් යොමු කර ඇති ලිපියෙහි සඳහන් වෙයි.

    විවිධ රාජතන්ත්‍රික සාකච්ජා,සම්මන්ත්‍රණ ආවරණ කරනු ලබන මාධ්‍යවේදීන් ජනතාවට තොරතුරු ලබාදීමේ දී සිය අවධානම ද නොතකා කටයුතු කරන බවත් එනිසා ජනමාධ්‍ය අමාත්‍යාංශයට අයත් සියළු ආයතනයන්හි කාර්ය මණ්ඩල මෙන්ම, මාධ්‍යවේදීන්ට මෙහි ප්‍රමාඛතාවය ලබා දෙමින් එන්නත ලබා දෙන ලෙස ලේකම්වරයා ඉල්ලා සිටී.

    ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ උපදෙස් මත ලේකම්වරයා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් මෙම ඉල්ලීම සිදු කර ඇති අතර මෙයට පෙර අමාත්‍ය රඹුක්වැල්ල මහතා කෙවිඩ් - 19 වැළැක්වීමේ ජාතික කාර්ය සාධක බලකායෙන් ද මෙම එන්නත ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය. මෙයට අමතරව මාධ්‍ය සංවිධාන හා මාධ්‍ය ආයතන රැසක් පවතින තත්වය මත මාධ්‍යවේදීන්ට කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත ලබා දෙන ලෙස විවිධ ඉල්ලීම් කර තිබිණ.

    මේ අතර ජනතාවට අවශ්‍ය ඖෂධ,ලිපි,පාර්සල් ආදිය කඩිනමින් ලබා දෙමින් උපරිම සේවාවක නිරත වන තැපැල් සේවාවේ කාර්ය මණ්ඩලය ද මෙම අවාධනම් තත්වයේ පසුවන බැවින් කඩිනමින් ඔවුන්ට ද මෙම ‍එන්නත ලබා දෙන ලෙස ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෙත ඉල්ලීමක් කර තිබේ.

    Latest News