මාධ්‍යවේදීන්ට කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත

මැයි 14, 2021

    කොවිඩ් වසංගත තත්ත්වය පිළිබඳව දෛනිකව ජනතාව දැනුවත් කරමින් එහි ව්‍යාප්තිය වැළැක්වීමට ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරන මෙරට ජනමාධ්‍යවේදීන් සඳහා කොවිඩ් මර්දන ප්‍රතිශක්තීකරණ එන්නත ලබාදීම අද (14) ආරම්භ කෙරිණ.

    ඒ අනූව, මාධ්‍යවේදීන් සඳහා වන මෙම එන්නත්කරණය ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ දී ලබා දීම සිදු කෙරේ. ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ඉල්ලීමක් මත සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ මැදිහත්වීමෙන් මෙය සිදු කෙරේ.

    විශේෂයෙන් කොරෝනා වසංගතය මෙරටට පැමිණි මොහොතේ සිට එහි තොරතුරු ජනතාවට ලබාදීම උදෙසා විශාල කාර්යභාරයක නියැලෙන ඉදිරිපෙළ කණ්ඩායමක් වශයෙන් මාධ්‍යවේදීන් ඉටු කරන ජාතික කාර්ය භාරය අඛණ්ඩව ඉටුකිරිම සඳහා මෙම එන්නත ලබාදීම වැදගත් වනු ඇතැයි, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

    මේ වන විටත් ඇතැම් මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීන් ඇතුළු කාර්යමණ්ඩල රැසක් ව්‍යසනයට ගොදුරුව ඇති අතර ඉදිරියේ දී තවදුරටත් එය ව්‍යාප්ත වුවහොත් ජනතාවට නිසි ලෙස තොරතුරු දීම අපහසු වනු ඇතැයිද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

    විශේෂයෙන් මාධ්‍ය ආයතන ප්‍රධානීන්,මාධ්‍යවේදීන් මෙන්ම මාධ්‍ය සංවිධාන ඇතුළු කණ්ඩායම් පසුගිය දිනවල මේ සඳහා ඉල්ලීම් කෙරිණ.

    ඒ අනූව, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී මාධ්‍ය අංශ ප්‍රධානීන් හා ප්‍රවෘත්ති අංශ ප්‍රධානීන් සමග ජනමාධ්‍ය අමාත්‍යවරයා හා සෞඛ්‍ය අමාත්‍යවරිය පැවැත්වූ සාකච්ජාවකින් අනතුරුව මෙම එන්නත්කරණය කඩිනමින් ලබාදීමට අවශ්‍ය පියවර ගැනිණ.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ හැඳුනුම්පත් හිමි මාධ්‍යවේදීන් 6,000කට අධික ප්‍රමාණයක් මෙරට සිටින අතර ප්‍රමුඛතාවය අනූව අදාළ මාධ්‍යවේදීන් යොමු කරන ලෙස ඒ ඒ මාධ්‍ය ආයතන වෙත ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් දැනුම් දෙනු ලැබීය.

    ඒ අනූව මාධ්‍යවේදීන්ට මෙම එන්නත ලබාදීම සිදු කෙරේ.

    ජනමාධ්‍යවේදීන් සඳහා එන්නත්කරණය සිදුකරන අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී.වීජේවීර රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ කේ.පී.ජයන්ත යන මහත්වරුන් ද එක්ව සිටි අතර ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ සභාපති මහාචාර්ය එස්.ඩී.ජයරත්න එහි අධ්‍යක්ෂ වෛද්‍ය රත්නසිරි ඒ හේවගේ, නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සන්තුෂ්‍ය ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගේ අධීක්ෂණයෙන් එය සිදු කෙරේ.

    Latest News