ගජබාහු නෞකාව “AMAN – 2021 ” බහුපාර්ශවික නාවික අභ්‍යාසයට සහභාගී වේ

පෙබ 18, 2021

    රටවල් 45 ක පමණ සහභාගීත්වයෙන් පෙබරවාරි මස 12 වන දින පාකිස්තානයේ කරච්චිහිදී පැවති ‘AMAN 2021’ බහු පාර්ශවික සාගරික අභ්‍යාසය සදහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ “ගජබාහු” නෞකාව සහභාගී විය.

    මෙම අභ්‍යාසයට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් ගජබාහු නෞකාව පෙබරවාරි මස 05 වන දින පාකිස්තානය බලා පිටත්ව ගොස් තිබුණි.

    පාකිස්තානු නාවික හමුදාව විසින් “සාමය සඳහා එක්ව” යන තේමාව යටතේ සංවිධානය කරන ලද ‘AMAN – 2021’ පාකිස්තානයේ කරච්චිහි නාවික තටාකංගණයේදී ආරම්භ කරන ලද අතර එය පෙබරවාරි මස 12 සිට 16 දක්වා පැවැත්විණි.

    කලාපීය සහයෝගීතාව සහ ස්ථාවරත්වය, අන්තර් ක්‍රියාකාරීත්වය, සාම්ප්‍රදායික හා සාම්ප්‍රදායික නොවන ආරක්ෂක තර්ජනයන්ට එරෙහිව සාමුහිකත්වය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් 2007 වර්ෂයේදී ආරම්භ කරන ලද මෙම නාවික අභ්‍යාස මාලාවේ 7 වන අවස්ථාව මෙය වේ.

    මෙම නාවික අභ්‍යාසයේ වරාය අදියර අවස්ථාව (Harbour phase) පෙබරවාරි මස 12 සිට 14 දක්වා කරච්චි වරායේ දී පැවැත්වූ අතර මුහුදු අදියර (Sea phase) පෙබරවාරි මස 15 සහ 16 යන දිනවල උතුරු අරාබි මුහුදේ දී සමුද්‍රීය ආරක්ෂක මෙහෙයුම්, ත්‍රස්ත මර්දන මෙහෙයුම් සහ මානුෂීය ආධාර මෙහෙයුම් සහිතව පැවති බව නාවික හමුදාව පවසයි.

    මෙම අභ්‍යාසයට සමගාමීව පෙබරවාරි 13 වන දින සිට 15 වන දින දක්වා “Development of Blue Economy under a Secure and Sustainable Environment: A Shared Future for Western Indian Ocean Region” යන තේමාව යටතේ අන්තර් ජාතික සමුද්‍රීය සම්මන්ත්‍රණයක් ද පාකිස්තාන නාවික හමුදාවේ මූලිකත්වයෙන් පැවැත්විය.

    කොවිඩ් - 19 ගෝලීය වසංගතය හේතුවෙන් පනවා ඇති දැඩි සෞඛ්‍ය සහ ආරක්‍ෂිත මාර්ගෝපදේශයන්ට අනුව මෙම අභ්‍යාසය පැවැත්විණි.

    Latest News