තරුණ හා ක්‍රීඩා අමාත්‍යතුමාගේ සංකල්පයකට අනුව දිස්ත්‍රික්ක 25ට යූත් හබ් 25ක්

පෙබ 13, 2021

    සෑම දිස්ත්‍රික්කයකම සංස්කෘතික මධ්‍යස්ථාන යටතේ ක්‍රීඩා අමාත්‍යතුමාගේ සංකල්පයකට අනුව යූත් හබ් (Youth Hub) පිහිටුවීම පැසසිය යුතු කරුණක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (12) ප්‍රකාශ කළේය.

    බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික අමාත්‍යංශය යටතේ ඇති සංස්කෘතික මධ්‍යස්ථාන එම කටයුතුවලට සමගාමීව ක්‍රීඩා කටයුතු හා වෘත්තිය පුහුණු කටයුතු සඳහා යොදා ගැනීමට ඇති හැකියාව පිළිබඳ සාකච්ඡා කිරීමට අරලියගහ මන්දිරයේ දී පැවති සාකච්ඡාවට එක්වෙමින් අග්‍රාමාත්‍යතුමා ‍මේ බව සඳහන් කළේය.

    දිස්ත්‍රික් 25 තුළ යූත් හබ් (Youth Hub) 25ක් ස්ථාපිත කිරීමට සැළසුම් කර ඇති බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙහි දී පෙන්වා දුන්නේය.

    මෙහි පළමුවැන්න දැනට වසර දෙකක කාලයක සිට ඉදිකිරීම් නවතා දමා තිබෙන මාතර නාවිමන සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථාන පරිශ්‍රයේ ආරම්භ කළ හැකි බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යතුමාට යෝජනා කළේය.

    ඒ පිළිබඳව පැවැති දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණය පිහිටි ස්ථානයේ ගොඩනැගෙන ක්‍රීඩා විශ්වවිද්‍යාලය අසලින් ගොඩනැගිලි සංකීර්ණයක් සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානයට ලබා දිය හැකි බවට යෝජනා විය.

    ජාතික උරුම ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පි ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා එම යෝජනාව පිළිගෙන කටයුතු කළ හැකි බව සඳහන් කළේය.

    සියලු දේ කොළඹට සීමා නොකර සෑම දිස්ත්‍රික්කයකටම බෙදී යන පරිදි කටයුතු කිරීම ප්‍රශංසනීය බව අග්‍රාමාත්‍යතුමා මෙහි දී අවධාරණය කළේය.

    තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙසේ ද කීවේය.

    "තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශ විෂය පථය ඇතුලෙ තියෙන ගුණාංගවලින්ම පිරුණු වැඩසටහනක් තමයි සංස්කෘති මධ්‍යස්ථාන සහ ඒ ආයතන හරහා ක්‍රියාත්මක වන්නේ. මේ දෙපැත්තටම බහුතරයක් සම්බන්ධවන්නෙ තරුණ පිරිස නිසා අපට ඒකාබද්ධව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ හැකිනම් එය ඉතාමත් සාර්ථකව ඉදිරියට ගෙන යා හැකියි."

    "යූත් හබ් කියලා වැඩපිළිවෙලක් අපි නිර්මාණය කළා. මේ සංකල්පයෙන් දිස්ත්‍රික් මට්ටමෙන් අවම වශයෙන් එක් තරුණ මධ්‍යස්ථානයක් හදන්න අපි බලාපොරොත්තු වෙනවා. එය දැනට තිබෙන තරුණ මධ්‍යස්ථාන, තරුණ සංවිධාන එහෙම නැත්නම් යෞවන සමාජ හෝ යොවුන් සේනාංක වගේ නෙමෙයි. මේ ඔස්සේ අපි කරන්න බලාපොරොත්තු වෙන්නෙ තරුණ තරුණියන්ගේ එදිනෙදා ජීවිතය ගොඩනගාගන්න අවශ්‍ය උපදෙස් මාලාවක් ලබාදීම, රැකියා අයදුම්පතක් පුරාවා ගැනීම, දෙස් විදෙස් රැකියා මාර්ගෝපදේශ ලබාදෙන්න, වෘත්තිය කාර්මික පුහුණුවට යොමු කිරීම, විනෝදාස්වාදය වෙනුවෙන් නර්ථනය ඇතුළු සංස්කෘතිය ඒකාබද්ධ වූ මධ්‍යස්ථානයක් නිර්මාණය කිරීම."

    "ඒ අනුව දිස්ත්‍රික් 25 තුළ එවැනි මධ්‍යස්ථාන 25ක් ස්ථාපනය කරනවා. මේ සඳහා දැනට තිබෙන ආයතන සහ මධ්‍යස්ථානවල ගොඩනැගිලි අපට ඒ සඳහා භාවිතා කළ හැකියි. අලුතින් ඉදිකරන එක මුදල් නාස්තියක්. මාතර සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානය පිළිබඳව අපේ අවධානය යොමු වුණා. එය දැනට වසර දෙකක කාලයක සිට ඉදිකිරීම ඇණසිට තිබෙන ස්ථානයක්. අපට පුළුවන් යූත් හබ් එකේ පළමුවැනි පියවර එතැනින් පටන් ගන්න."

    "අද අපි තවත් අලුත් සංකල්පයක් හදා ගත්තා අපේ කුඩා ව්‍යාපාර වෙනුවෙන්. ඒ තමයි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පොළවල්වල නැති දිනවල කුඩා ව්‍යාපාරිකයන්ට පොළවල්වල වෙළඳාම් කිරීම අවස්ථාව සලසා දීම. හම්බන්තොට සහ බදුල්ල දිස්ත්‍රික්කවලින් ඊට මූලාරම්භයක් අද දිනයේ තබා තිබෙනවා. ඉදිරියේ දී අවම වශයෙන් එක ආසනයක එක පොළක කුඩා පරිමාණ ව්‍යාපාරිකයන් වෙනුවෙන් දිනක හෝ දෙදිනක පොළක් අප නිර්මාණය කරනවා. ඒ වෙනුවෙන් ඉදිරියේ දි යූත් හබ් එක තුළ ඒ වෙනුවෙන් ස්ථීර මධ්‍යස්ථාන ඇති කරන්න බලාපෙරොත්තු වෙනවා."

    "දැනට තිබෙන සංස්කෘතික මධ්‍යස්ථානවලට ක්‍රීඩාව පැත්තෙන් අපට උදව් කළ හැකියි. ටේබල් ටෙනිස්, බැඩ්මින්ටන්, වූෂූ, කරාටි, බොක්ෂිං වගේ ක්‍රීඩා කොළඹින් පිටටත් ගෙනියන්න අප බලාපොරොත්තු වෙනවා. දෙමසක් වගේ ඇතුළත ක්‍රීඩා භාණ්ඩ හා පුහුණුකරුවන් අපට ලබාදිය හැකියි. ත්‍රිවිධ හමුදාවෙන් හා පොලිසියෙන් පුහුණුකරුවන් ඊට සුදානමින් සිටිනවා."

    "ක්‍රීඩා අමාත්‍යංශය හා ප්‍රවාහන අමාත්‍යංශය එක්ව පාසල් ළමුන්ට දැන් බස් රථ ප්‍රවේශපත්‍ර ලබාදෙනවා. එමගින් ක්‍රීඩා කටයුතුවලට යන ළමුන්ට බස් රථ හා දුම්රිය ප්‍රවේශපත්‍ර ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. එම පිරිවැය ක්‍රීඩා අමාත්‍යංශයෙන් දරනවා. සංස්කෘතික අමාත්‍යංශයේ දරුවන්ටත් ඒ සඳහා වැඩපිළිවෙලක් අප සකස් කර දෙනවා."

    ජාතික උරුම ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පි ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා

    "දැනට පවතින සංස්කෘතික මධ්‍යස්ථාන 30ක අලුත් වැඩපිළිවෙලක් විධියට මේ වසරේ දී යූත් හබ් ආරම්භ කරන්න."

    මාතර නාවිමන සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මහාචාර්ය ප්‍රශාන්ති නාරංගොඩ මහත්මිය

    "නාවිමන මධ්‍යස්ථානය වසර 10ක් තිස්සේ ඉදිවෙමින් තිබෙනවා. මෙහි ඉදිකිරීම් පිළිබඳව ගැටලු තිබෙනවා. අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමාගේ යෝජනාව ඉතාම හොඳයි. ක්‍රීඩාව හා සංස්කෘතිය එකිනෙකට බැඳි තිබෙනවා."

    විදේශ අමාත්‍යංශයේ දකුණු ආසියා හා සාර්ක් අංශයේ අධ්‍යක්ෂ රන්සිරි පෙරේරා මහතා

    "නාවිමන සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානයට මේ වනවිටත් විශාල මුදලක්, බිලියන එක හමාරක් පමණ වැය කර තිබෙනවා. අපට සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානය කොළඹ ආසන්නයට ගෙන එන්න පුළුවන්. ඒ වෙනුවෙන් වෙනත් ගොඩනැගිල්ලක් දීම වඩා ප්‍රායෝගිකයි."

    බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යශයේ සංස්කෘතික ප්‍රවර්ධන හා ඉදිකිරීම් අංශයේ අතිරේක ලේකම් ජි විජිත නන්ද කුමාර් මහතා

    "නාවිමන සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානයට මුලින් ඇස්තමේන්තු කළ රුපියල් මිලියන 50ක මුදල මේ වනවිට රුපියල් මිලියන 1583ක් දක්වා වැඩිවෙලා තියෙනවා. 2019 අවසානය වනවිට අපි මිලියන 1432 මුදලක් වැය කරලා තියෙනවා. නමුත් වැඩ අවසන් වී තිබෙන්නේ සියයට 75ක වගේ ප්‍රමාණයක්. මෙය පවත්වාගෙන යාමට මුදල් වැය කළ යුතු වන්නේත් ශ්‍රී ලංකා රජයයි. අමාත්‍යංශය යටතේ සංස්කෘතික මධ්‍යස්ථාන 194ක් රටපුරා ක්‍රියාත්මකයි."

    ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශ ලේකම් රවින්ද්‍ර සමරවික්‍රම මහතා

    "නාවිමන සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානය පිහිටි ස්ථානයට මා පසුගියදා ගියා. ක්‍රීඩා අමාත්‍යතුමාගේ යෝජනාව ඉතාම වටිනවා. මේ ස්ථානයේ වසර දෙකක සිට කිසිදු ඉදිකිරීමක් සිදුවන්නෙ නැහැ."

    තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් අනුරාධ විජේකෝන් මහතා

    "ලංකාවේ ජනගහනයෙන් සියයට 25ක් තරුණ තරුණියො ඉන්නෙ. එය ලක්ෂ 55කට ආසන්න සංඛ්‍යාවක්. ඇමතිතුමත් අපිත් නිතර අපේ තරුණයන් කොහොමද ව්‍යවසායකයො කරන්නෙ කියලා සාකච්ඡා කරනවා. ඔවුන්ගේ විවිධ හැකියාවන්ට අවශ්‍ය වෘත්තීන් තෝරාදීම පිළිබඳව අපි නිතර අවධානය යොමු කරනවා. අපි දැකලා තියෙනවා තරුණයන්ට ඒකරාශීවෙන්න තැන් නැහැ. බොහෝ විට ඔවුන් ත්‍රීරෝද රථගාල්වලට යොමුවෙලා, රටට බරක් වෙන වැඩවලට සම්බන්ධවන අවස්ථා තිබෙනවා. පළමු වටයේ යූත් හබ් දිස්ත්‍රික් මට්ටමෙන් ගොඩනගලා, එය ප්‍රාදේශීය කොට්ඨාශ මට්ටමට ගෙනයමින් අනාගතයේ රටට බරක් නොවන තරුණ පරපුරක් නිර්මාණය කිරීම තමයි අපේ ඇමතිතුමාගේ ඇතුළු අපේ අරමුණ. නාවිමන සාර්ක් මධ්‍යස්ථානය ආදර්ශ තරුණ මධ්‍යස්ථානයක් ලෙස අපට ආරම්භයක් ගත හැකියි. යූත් හබ් ( තරුණ මධ්‍යස්ථාන ) 1000ක් සඳහා ප්‍රතිපාදන වෙන්කරගනිමින් 2021 වසරේ දී ඉන් 400ක් ඉදිකරන්න බලාපොරොත්තුවෙනවා."

    විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උප සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජනිතා ඒ ලියනගේ මහත්මිය

    "ක්‍රීඩා ඇමතිතුමාගේ මෙම යෝජනාව ඉතා හොඳ යෝජනාවක්. අපි හැමදාම තරුණ පරපුරත් සමඟ ගැටෙනවා. යූත් හබ් වගේ එකකින් තරුණයන්ට අවස්ථාව ලබාදීම ඉතා අගය කරනවා. එම පාඨමාලා සකස් කර දීමට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ පූර්ණ සහයෝගය ලබා දෙනවා. ප්‍රථම දේශිය වෛද්‍ය විශ්ව විද්‍යාලය ලබන මාසේ පළමුවැනිදා ආරම්භ කරනවා. එතනදි ලංකාවේ දේශීයත්වය පිළිබඳ පාඨමාලා 11ක් එහි ආරම්භ වෙනවා. මේ මධ්‍යස්ථානවල දරුවන් ඊට සම්බන්ධ කරගෙන ඒ පාඨමාලා මේ මධ්‍යස්ථානයේ "

    පවත්වන්න අපට හැකියාව තිබෙනවා. ඉසඩ් අගය හරහා නොයා දරුවන් මේ පාඨමාලාවට සම්බන්ධ කරගෙන දරුවන්ට දේශීයත්වය සංස්කෘතිය අගය කරන පරපුරක් බිහිකරන්න එම විශ්ව විද්‍යාලය ඔස්සේ බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේ වැඩපිළිවෙලට අපගේ උපරිම සහය ලබාදෙනවා.

    මෙම අවස්ථාවට තරුණ හා ක්‍රිඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍යවරුන්වන විදුර වික්‍රමනායක, තේනුක විදානගමගේ, තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් අනුරාධ විජේකෝන්, ග්‍රාමිය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශ ලේකම් රවින්ද්‍ර සමරවික්‍රම, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උප සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජනිතා ඒ ලියනගේ, විදේශ අමාත්‍යංශයේ දකුණු ආසියා හා සාර්ක් අංශයේ අධ්‍යක්ෂ රන්සිරි පෙරේරා, මාතර නාවිමන සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මහාචාර්ය ප්‍රශාන්ති නාරංගොඩ, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යශයේ සංස්කෘතික ප්‍රවර්ධන හා ඉදිකිරීම් අංශයේ අතිරේක ලේකම් ජි විජිත නන්ද කුමාර් මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරින් පිරිසක් එක්ව සිටියහ.

    Latest News