බෙල්ලන්විල බෝධීන් වහන්සේ සංරක්ෂණය කිරීම ඇරඹෙයි (වීඩියෝ)

පෙබ 13, 2021
  • ඓතිහාසික බෙල්ලන්විල බෝධීන් වහන්සේ සංරක්ෂණය කිරීමේ පුණ්‍යෝත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (13) පෙරවරුවේ පැවැත්විණි.

    මහා සංඝරත්නයේ ආශීර්වාදය ඇතිව බෝධි ප්‍රාකාරය ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා තැන්පත් කෙරෙන පූජා වස්තු සහ මුල්ගල සියතට ගත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එය ඉටු කිරීම අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතාට භාර කළේය.

    ඒ අනුව බෙල්ලන්විල බෝධීන් වහන්සේ සංරක්ෂණය කිරීමේ කටයුතු සුභ මොහොතින් ආරම්භ විය. බෙල්ලන්විල බෝධීන් වහන්සේ ශ්‍රි මහා බෝධීන් වහන්සේගෙන් හටගත් දෙතිස් ඵල රුහ බෝධි අංකුරයකින් රෝපිත බව සඳහන්ය.

    මෙම ඓතිහාසික බෙල්ලන්විල බෝධීන් වහන්සේ සංරක්ෂණය කිරීම යුද්ධය අවසන් කොට මේ රටට සාමය උදාකළ නායකයා අතින් ආරම්භ කිරීමට ලැබිම භාග්‍යයක් බව බෙල්ලන්විල රජමහා විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නාහිමියෝ ප්‍රකාශ කළහ.

    කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනු නායක මහාචාර්ය කොටපිටියේ රාහුල අනුනාහිමියෝ මෙම අවස්ථාවේ අනුශාසනාවක් පවත්වමින් අභියෝග හමුවේ නොසැලෙන නායකයකුවන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට කවුරුන් කුමක් කිව්වද රට වෙනුවෙන් කළ යුතු කාර්යය ඉදිරියටත් එලසින්ම ඉටු කිරීමට මහා සංඝරත්නයේ ආශිර්වාදය හිමිවන බව පැවසූහ.

    බෙල්ලන්විල බෝධීන් වහන්සේ සංරක්ෂණය කිරීමේ පුණ්‍යෝත්සවය අමතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙසේ ද කීවේය.

    "දෙවනපෑතිස් රජ සමයේ පටන් සැදැහැති බැතිමතුන් පූජෝපහාර ලබන බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයෙහි වැඩ සිටින බෝධිරාජයාණන් වහන්සේ අනුරාධපුරයේ ජයශ්‍රී මහා බෝධිරාජයාණන්ගෙන් හට ගත් දෙතිස් ඵලරුහ බෝධීන් වහන්සේ නමක් බව අපි දන්නවා."

    "ශ්‍රී ලංකා සම්බුද්ධ ශාසනයේ මහාර්ඝ ආධ්‍යාත්මික සම්පතක් වන මෙම බෝධීන්ව වහන්සේගේ අලුතින් මතු වී ඇති අංකුර සහ මුල් ක්‍රමානුකූලව වැඩීම පිණිස ප්‍රමාණවත් අවකාශ ලැබෙන පරිදි ඇතුලු ප්‍රාකාරය සහිත මළුව පුළුල් විය යුතුයි. "

    "ඊට උචිත පරිදි පළමු ප්‍රාකාරය සැදැහැවතුන්ගේ වන්දනා මාන හා පුද පූජා සඳහා පෞරාණික බෝධි ප්‍රාකාර සහ බෝධි ඝර සංරක්ෂණය පිළිබඳ විශේෂඥයන්ගේ උපදේශ මත විශාල කොට ඉදිකිරීම අත්‍යවශ්‍යයි. ඒ තුළින් බෝධීන් වහන්සේ චිරාත් කාලයක් ආරක්ෂා කර ගැනීමට අවකාශ සැලසෙනු ඇතැයි අපේ විශ්වාසයක් තියෙනවා."

    "ඒ නිසා අපි කුඩා කාලයේ සිට විභාගයක් ලංවුණාම හැම වෙලාවේම මතක් වෙන්නේ බෙලන්විල රජ මහා විහාරය. මං හිතන්නේ අපි හැමදෙනාම හුරු වුණු පිළිවෙතක් ඒක. මොකද අපේ හාමුදුරුවනේ විභාගයක් කිට්ටු වෙන කොට කොහේ හිටියත් අපි ඔක්කොම එන්නේ බෙල්ලන්විලට. බෙල්ලන්විල ඇවිත් මේ බෝධීන් වහන්සේ වැදලා තමයි ඊළග දවසේ විභාගයට යන්න‍ෙ. ඉතිං ඒ වගේ සම්බන්ධතාවක් අපිට බෙල්ලන්විල රජ මහා විහාරයත් එක්ක තියෙනවා. ඒ නිසා අද අපේ නායක හාමුදුරුවන්ගෙ විශේෂ උනන්දුවකින් මේ විහාරස්ථානය ගොඩනගන්න සූදානම් වීම ගැන උන්වහන්සේට අපේ ගෞරවය මේ අවස්ථාවේදී පුද කරනවා."

    ඔබ වහන්සේ ගන්නා වූ මෙම මහන්සිය අපි අගය කරනවා වගේම ඔබ වහන්සේට දීර්ඝායුෂ පතනවා. ඔබ සැමට තෙරුවන්සරණයි ! යැයි අග්‍රාමාත්‍යතුමා පැවසීය.

    මෙම අවස්ථාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනු නායක මහාචාර්ය කොටපිටියේ රාහුල අනුනාහිමි, බෙල්ලන්විල රජමහා විහාරාධිපති සිංගප්පූරුව බෞද්ධ පුස්තකාලයේ නිර්මාතෘ හා ප්‍රධාන සංඝනායක ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නාහිමි, නාරාහේන්පිට අභයාරාමාධිපති බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමි ඇතුළු මහා සංඝරත්නය වැඩම කළහ.

    අමාත්‍යවරුන්වන ගාමිණී ලොකුගේ, උදය ගම්මන්පිල, රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්වන විජේදාස රාජපක්ෂ, ජගත් කුමාර, හිටපු කතානායක කරු ජයසූරිය, හිටපු අමාත්‍ය රවි කරුණානායක, ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න මහත්වරු හා ගුවන් හා නාවික හමුදාපතිවරුන් ඇතුළු ආරක්ෂක ප්‍රධානීන්, බැතිමතුන් පිරිසක් මෙම පුණ්‍යෝත්සවය හා එක්වූහ.

     

    Last modified on සෙනසුරාදා, 13 පෙබරවාරි 2021 22:39

    Latest News