ශ්‍රි ලංකා - සිංගප්පූරු වෙළඳ ගිවිසුමට සංශෝධනයක්

ජන 25, 2019

    සිංගප්පුරුවේ දෙදින නිල සංචාරයක නිරත ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ සිංගප්පූරු අග‍්‍රාමාත්‍ය ලී සියැන් ලූන්ග් මහතා අතර හමුව අද (25) දහවල් සිදු විය. දෙරට අතර පවතින වෙළෙඳ, සංචාරක සහ කර්මාන්ත ක්ෂේත‍්‍රයේ සබඳතා තවදුරටත් ඉහළ නංවා ගැනීම පිළිබඳව මෙහි දී නායකයන්ගේ විශේෂ සාකච්ඡාවට ලක් විය. ශ‍්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර අත්සන් තැබු නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳව ද ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මෙහිදී අදහස් දැක්විය. එය සකස් කිරීමේ දී ශ‍්‍රි ලංකා පාර්ශ්වයෙන් අඩු පාඩු කිහිපයක් සිදුව තිබෙන බවත්, ඒ සඳහා අවශ්‍ය සංශෝධන කිහිපයක් සිදු කිරීමට අපේක්ෂා කරන බවත් ජනාධිපති තුමා විසින් පෙන්වාදුණි. ඉදිරියේ දී ඒ පිළිබඳව කටයුතු කිරීමේ වැදගත්කම ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ ය.

    කලාපයටත්, නොව ලෝකයටම තර්ජනයක් වී ඇති මත්ද්‍රව්‍ය අභියෝගය ජය ගැනීම සඳහා එක්ව කටයුතු කිරීම පිළිබඳව ද මෙහිදී නායකයන්ගේ අවධානය යොමු වි ඇත. මත් උවදුර මැඩලීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා නායකත්වයෙන් ශ‍්‍රී ලංකා රජය ගෙන යන වැඩපිළිවෙළට උපරිම සහය ලබාදෙන බව සිංගප්පූරු අග‍්‍රාමාත්‍යවරයා සඳහන් කළේය. ශ‍්‍රී ලාංකිකයන් විශාල පිරිසක් සිංගප්පූරුවේ විවිධ ක්ෂේත‍්‍රවල රැකියාවල නියුතුව සිටින අතර ඔවුන්ගේ සහ එරට උසස් අධ්‍යාපනය ලබන ශ‍්‍රී ලාංකික සිසුන්ගේ සුබසාධනය වෙනුවෙන් සිංගප්පූරු රජය දක්වන සහය පිළිබඳව ද ජනාධිපතිතුමා මෙහි දී සිංගප්පූරු අග‍්‍රාමාත්‍යවරයා වෙත සිය ස්තූතිය පළ කළේය.

    මේ අතර ඇස්ටෝනියාවේ පරිසර අමාත්‍යවරයා මෙන්ම එක්සත් ජාතින්ගේ පරිසර කමිටුවේ සිව්වන සැසිවාරයේ සභාපතිවරයා වන ස්ලීම් කයිසර් මහතා ද අද ජනාධිපතිතුමා හමුවී සාකච්ඡා පැවැත්වීය. පරිසරය ආරක්ෂා කර ගනිමින් තිරසර සංවර්ධන ඉලක්ක ජය ගැනීම සඳහා ජනපතිගේ මගපෙන්වීමෙන් ශ‍්‍රී ලංකා රජය ගෙන යන වැඩපිළිවෙළ මෙහි දී අමාත්‍යවරයාගේ පැසසුමට ලක් විය.

    පරිසර සංරක්ෂණය වෙනුවෙන් ලෝකයටම ආදර්ශයක් සපයමින් වැදගත් පියවර රැසක් තබා ඇති ශ‍්‍රී ලංකා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා, පරිසර අභියෝග ජය ගැනීම පිළිබඳව අද දින පැවති සමුළුවේ දී ඉදිරිපත් කළ යෝජනා පිළිබඳව ද සිය ස්තූතිය පළ කළ අමාත්‍යවරයා ඒවා අන්තර්ජාතික වශයෙන් ඉතා වැදගත් යෝජනා වනු ඇති බව සඳහන් කළේය.

    මේ අතර ලබන මාර්තු මාසයේ දී නයිරෝබිහි පැවැත්වෙන එක්සත් ජාතින්ගේ පරිසර සැසියේ විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස සහභාගී වන ලෙස ද ජනාධිපතිතුමා වෙත ඇරයුම් කළේය. කාලගුණික දේශගුණික විපර්යාස හේතුවෙන් මතුවන අභියෝග ජය ගැනීමේ දී මෙන්ම පරිසර සංරක්ෂණ වැඩපිළිවෙළේ දී එක්සත් ජාතින්ගේ සංවිධානය ශ‍්‍රී ලංකාවට ලබා දෙන සහය මෙහි දී අගය කළ ජනාධිපතිතුමා පොලිතින් තහනම වැනි දැඩි නීති රීති කි‍්‍රයාවට නංවමින් පරිසරය සුරැකීම වෙනුවෙන් ශී‍්‍ර ලංකා රජය ගෙන යන පුළුල් වැඩපිළිවෙළ පිළිබඳවත්, පරිසරය ආරක්ෂා කිරිම වෙනුවෙන් ති‍්‍රවිධ හමුදාවේ සහය ලබා ගනිමින් කි‍්‍රයාත්මක කර ඇති වැඩපිළිවෙළ පිළිබඳවත් අමාත්‍යවරයා දැනුවත් කළේය.

    ඇස්ටෝනියාව සහ ශ‍්‍රී ලංකාව අතර මේ වන විටත් පවතින ද්විපාර්ශ්වික සබඳතා නව ක්ෂේත‍්‍ර ඔස්සේ වර්ධනය කර ගැනීම පිළිබඳව ද මෙහි දී අවධානය යොමු විය.

    Last modified on සිකුරාදා, 25 ජනවාරි 2019 16:32

    Latest News