ජනපති සහ සිංගප්පූරු ජනපතිනිය හමු වෙයි

ජන 24, 2019

    එක්සත් ජාතීන්ගේ ආසියානු ශාන්තිකර කලාපීය පරිසර අමාත්‍යවරුන්ගේ සහ පරිසර ආයතන ප‍්‍රධානීන්ගේ සමුළුවේ ප‍්‍රධාන දේශකයා ලෙස සහභාගීවීමට සිංගප්පූරුව බලා පිටත්ව ගිය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ සිංගප්පූරු ජනාධිපතිනි හලීමා මැතිනිය අතර හමුව අද (24) පෙරවරුවේ සිදු විය.

    සිංගප්පූරුවේ ඉස්තානා මන්දිරය වෙත ගිය ජනාධිපතිතුමා සිංගප්පූරු ජනාධිපතිනිය විසින් ඉතා සුහදශීලීව පිළිගත් අතර අනතුරුව නායක දෙපළ සුහද කථා බහකට එක් විය.

    ශ‍්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර පවතින ද්වීපාර්ශ්වික සබඳතා ශක්තිමත් ලෙස ඉදිරියට ගෙන යාම පිළිබඳව මෙහිදී නායකයන්ගේ අවධානය යොමු වූ අතර වර්තමාන ශී‍්‍ර ලංකාව දේශපාලන, සමාජ සහ ආර්ථික වශයෙන් මේ වන විට ඉදිරියට තබා ඇති වැදගත් පියවර පිළිබඳව ද සිංගප්පූරු ජනාධිපතිනිය, ජනාධිපතිතුමා වෙත සිය ප‍්‍රශංසාව පළ කළාය.

    එමෙන්ම ශ‍්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය අභියෝගය ජය ගැනිම සඳහා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ නායකත්වයෙන් ගෙන යන ශක්තිමත් වැඩපිළිවෙළ ද සිංගප්පූරු ජනාධිපතිනියගේ ඇගැයීමට ලක් විය.

    ශ‍්‍රී ලංකා ජනාධිපතිතුමා වෙනුවෙන් සූදානම් කර තිබූ විශේෂ දිවා භෝජන සංග‍්‍රහයට ඉන් අනතුරුව ජනාධිපතිවරු එක් වූහ.

    Last modified on බ්‍රහස්පතින්දා, 24 ජනවාරි 2019 19:42

    Latest News