ලංකාවේ භුගත විදුලි රැහැන් සහිත ප්‍රථම නගරය ගාල්ල බවට පත්කරනවා...

ජන 11, 2021

    දිවයිනේ ප්‍රථම වරට භූගත රැහැන් මාර්ග යොදාගනිමින් විදුලිය බෙදාහැරීමේ ජාලයක් ගාල්ල නගරයේ ස්ථාපිත කිරීමේ නියමු ව්‍යාපෘතියක් දියත් කරන්න ලංකා විදුලි පුද්ගලික සමාගමත් සමගින් මේ වනවිට සියළු සැලසුම් සකස් කර අවසන් බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

    ගාල්ල දිස්ත්‍රික් ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන කමිටු රැස්වීමට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේබව ප්‍රකාශ කළේය. සෞභාග්‍යයේ දැක්ම ප්‍රකාරව දිස්ත්‍රික් මට්ටමින් ජනතා ගැටලු විසදීමේ අරමුණෙන් පවත්වනු ලබන මෙම රැස්වීම් මාලාවේ 8 වැන්න ගාල්ල දිස්ත්‍රික්කයේදී පැවැත්විනි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය අලහප්පෙරුම මහතා....

    "පවතින කොවිඩ් වසංගත තත්ත්වය යටතේ වුවත්, මේ ආකාරයෙන් ජනතා සහන සැලසීමේ ජාතික සංවර්ධන න්‍යාය පත්‍රය බිලි නොදී, සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පසුබිම නිසිආකාරව සකස් කිරීම සම්බන්ධයෙන්, ජනාධිපතිතුමන්, අගමැතිතුමන්, බැසිල් රාජපක්ෂ මැතිතුමාටත් අපි කෘතවේදීත්වය පළකල යුතුයි.

    සමස්ත දිවයින විදුලියේ එළියෙන් ඒකාලෝක කිරීමේ වැඩසටහන සාර්ථකත්වය කරා එළඹ තිබෙනවා.

    විදුලිය කියන්නේ මූලික යටිතල පහසුකමක්, මානව අයිතියක් වගේම ජනතාවගේ අත්‍යාවශ්‍ය සේවාවක්. මේ වනවිට ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් 99.6 කට විදුලිය ලබාදීලා.

    මේ වන විට විදුලිය නොමැති පවුල් සිටින්නේ 2730 ක් පමණයි. 2022 වසර අවසන් වීමට ප්‍රථම එම කණ්ඩායමටත් විදුලිය ලබාදෙන්න අපි සූදානම්. මහින්ද රාජපක්ෂ මැතිතුමන් පසුගිය අයවැයෙන් ඒ වෙනුවෙන් මූල්‍ය ප්‍රතිපාදන වෙන්කරලා තිබෙනවා.

    ඒ වගේම ගාල්ල දිස්ත්‍රික්කය තුළ පුනර්ජනනීය බලශක්තිය ව්‍යාප්ත වීම තවමත් සාර්ථකත්වයට පත්වෙලා නැහැ. මේ දිස්ත්‍රික්කයේ නිවාස 919 ක පමණයි නිවාස පියසි මත සූර්ය පැනල සවිකර තිබෙන්නේ.

    ඒ නිසා මේ වසර ඇතුලත මේ දිස්ත්‍රික්කයේ නිවාස මෙන්ම කාර්යාල පියසි සූර්ය විදුලි බලාගාර බවට පත් කිරීමටත්, ට්‍රාන්ස්ෆෝමර් යොදා ගනිමින් විදුලිය නිපදවීම සදහා ආරම්භ කල නව ව්‍යාපෘතිය ව්‍යාප්ත කිරීමටත් අපි කටයුතු සූදානම් කරලා තිබෙනවා.

    ඊට අමතරව දැනට ලංකාවට ගැටළුවක්ව පවතින කුණු යොදාගනිමින්, විදුලිය නිපදවීමේ නියමු ව්‍යාපෘතියක් හැදල නගරය ආශ්‍රිතව දියත් කිරීමටද සැලසුම් සකස් කරලා තිබෙනවා. ඇමතිවරු සියලු දේ ප්‍රථමයෙන් ලබාදෙන්නේ තමන්ගේ දිස්ත්‍රික්කයටයි. නමුත් මම ඒ සංස්කෘතියෙන් මිදිලා, ගාල්ල දිස්ත්‍රික්කයේ විදුලි පාරිභෝගික ජනතාවට මේ සියලු පහසුකම් ලබාදීමට කටයුතු කරනවා" යැයි පැවසීය.

    Latest News