ඇමති රවිගේ අලුත් සෙල්ලමට ගුවන් හමුදාවත්

ජන 23, 2019

    වියලි කාලගුණයෙන් ජල විදුලි නිෂ්පාදනයට බලපාන ගැටලු අවම කිරීමට කෘතිම වැසි ඇති කිරීමේ ව්‍යාපෘතියක් සඳහා විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශයේ අවධානය යොමුවි තිබේ.

    තායිලන්ත රජයේ තාක්ෂණික ඥාණය උපයෝගී කරගනිමින්, ලංකාවේ ප්‍රථම වරට කෘතිම වැසි ඇති කිරීමේ ව්‍යාපෘතියට ශ්‍රී ලංකා ගුවන් හමුදාව ගුවන් යානා සැපයීමට එකගවී ඇත. 

    ඊට ලංකා විදුලිබල මණ්ඩලය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමග අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සහ රාජ්‍ය අමාත්‍ය චම්පික ප්‍රේමදාස මහතාගේ සහභාගීත්වයෙන් අද (23) පෙරවරුවේ ගුවන් හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි. ලංකා විදුලිබල මණ්ඩලය වෙනුවෙන්, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශ ලේකම්, ආචාර්ය බී.එම්.එස්. බටගොඩ මහතා සහ ගුවන් හමුදාව වෙනුවෙන් ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා ගිවිසුමට අත්සන් තබන ලදී.

    අමාත්‍ය කරුණානායක මහතා- "වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින අවස්ථා වලදී ගුවන්යානා දෙකක් මගින් වලාකුළු උපයෝගී කරගනිමින් කෘතීම වැසි ඇති කිරීමට අපි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම තුළින් බලාපොරොත්තු වෙනවා. මේ සදහා අපට තායිලන්ත රජය විසින් තාක්ෂණික ඥාණය ලබාදෙනවා. වියළි කාලවලදී ජල විදුලිය ජනනයට ඇතිවන අපහසුතා මගහරවා ගැනීම සදහා බලාගාර ආශ්‍රිත ප්‍රදේශයන්ගේ වළාකුළු ඇති කර මෙම කෘතීම වැසි ඇති කිරීමට පියවර ගන්නවා. ප්‍රථම වතාවට තමයි ලංකාවේ මෙවැනි ක්‍රමයක් ඇති කරන්නේ. ලංකා විදුලිබල මණ්ඩලය වැසි රහිත කාලගුණික තත්ත්වයන් මත ජල විදුලි උත්පාදනය සීමා වීමේදී, විදුලි ජනනය පුද්ගලික අංශය මගින් සිදුකිරීමට යාමෙන් අධික අලාභයක් ලබා තිබෙනවා. මේ නව කෘතීම වැසි ක්‍රමය හැකි ඉක්මනින් ක්‍රියාත්මක කිරීමෙන් ලංකා විදුලිබල මණ්ඩලය ලැබූ එම අලාභය අවම කරගැනීමට හැකිවේවි. අපි මෙම ව්‍යාපෘතිය ලබන මස අග වනවිට ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. අපි මේ සියලු දේ කරන්නේ රටේත් ජනතාවගේ අභීවෘද්ධියට සහ අනවශ්‍ය වියදම් අවම කරගැනීම තුළින් ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහායි" යැයි පැවසීය.

    ගුවන් හමුදාපතිවරයා පැවසුවේ, ජලවිදුලි බලාගාර ආශ්‍රිත ප්‍රදේශයන්ට කෘතිම වැසි ඇති කිරීමේ කාර්යයට ගුවන්යානා ලබාදීමෙන් අනුග්‍රහය දැක්වීමට ගුවන් හමුදාවට හැකිවන බවත්, ඒ සඳහා ඉදිරීයේදී ගුවන් යානායක් නවීකරණය කරන බවත්, එම ගුවන් යානය මගින් වළාකුළු අතරට රසායනික ද්‍රව්‍යයන් එකතු කිරීමෙන් කෘතීම වැසි ඇති කිරීමට සැලසුම් කර ඇති බවයි. ඉදිරියේදී මෙම කාර්යය සඳහාම වෙන්කරන ලද ගුවන්යානා ලංකා විදුලිබල මණ්ඩලයට ලබාදීමට අදහස් කරන බවද, තාප බලාගාර වෙනුවට ජලවිදුලිය නිෂ්පාදනය කිරිම සදහා අද දින මේ අත්සන් කරන ලද ගිවිසුම ඓතිහාසික ගිවිසුමක් බවත්, විදුලි ජනනයට අමතරව නියගය පවතින අවස්ථාවලදී රටේ කෘෂිකර්මාන්තය සදහා ද මෙම ක්‍රමය යොදාගත හැකි බවත් පැවසීය.

     

     

     

     

     

     

     

     

     

    Latest News