බේරේවැව අවන්හල - මංතීරුව මහජනතාවට විවෘත කෙරේ

දෙසැ 31, 2020

    බේරේ වැව එළිමහන් අවන්හල සහ ඇවිදින මංතීරුව ඊයේ මහජනතාවට විවෘත කෙරිණ. ඒ අමාත්‍ය ජී.එල්.පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන්.

    බේරේ වැව එළිමහන් අවන්හල් ව්‍යාපෘතිය ආරම්භ කෙරුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මතයි. මෙහි ප්‍රධාන අරමුණ මහජනතාව නගර මධ්‍යස්ථාන කරා පදික මංතීරු ඔස්සේ ගමන් කිරීම දිරි ගැන්වීමයි.

    වතුරමල සහ ඇවිදින මංතීරුව ජනතාවට විවෘත කෙරිණ. පසුව කඩ සංකීර්ණය ද විවෘත කරනු ලැබීය. මෙම ව්‍යාපෘතියේ විශේෂත්වය වන්නේ මෙය කොවිඩ් සමය තුළ දී ආරම්භ කර අවසන් කළ ව්‍යාපෘතියක් වීමයි.

    පසුගිය ජුනි 8 වැනිදා ආරම්භ කරන ලද බේරේ වැව එළිමහන් අවන්හල් ව්‍යාපෘතිය අවසන් කෙරුණේ පසුගිය නොවැම්බර් 19 වැනිදායි. රජයේ භාණ්ඩාගාර අරමුදල්වලින් මීට වැය කෙරුණු මුදල රුපියල් මිලියන 60ක්. භූමි ප්‍රමාණය හෙක්ටයාර 0.8ක්. ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලද්දේ නාගරික සංවර්ධන අධිකාරිය විසින්.

    නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සහාය ද මීට සහය විය.

    බේරේ වැව වටා විවේකීව ගමන් කරන පදිකයින්ගේ සනීපාරක්ෂාව,භෝජන පහසුකම් සහ විවේක පහසුකම් සියල්ල මෙහිදී සපිරෙයි. බේරේ වැව එළිමහන් අවන්හල් ව්‍යාපෘතියේ සාප්පු සංඛ්‍යාව 60ක්.

    Latest News