බේරේ වැව සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රගතිය

දෙසැ 05, 2023

    බේරේ වැව සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රගතිය හා ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් සකස් කළ වාර්තා ජනාධිපතිවරයා වෙත ලබන 15 වැනි දිනට පෙර ලබා දෙන්නැයි, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජේෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා අදාළ ආයතන ප්‍රධානීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

    එම ව්‍යාපෘතියේ ප්‍රගති සමාලෝචනය වෙනුවෙන් ජනාධිපති කාර්යාලයේ ඊයේ පැවති සාකච්ඡාවේ දී ඔහු මෙම උපදෙස් ලබා දුන්නා.

    කොළඹ නගර අලංකරණ සැලැස්ම හා එහි වර්ථමාන ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් ද ජනාධිපතිවරයා ‍වෙත ඉදිරිපත් කිරීමට කඩිනමින් ලබා දෙන ලෙසද සාගල රත්නායක මහතා අදාළ ආයතන ප්‍රධානීන්ට මෙහිදී දැනුම් දුන්නා. බේරේ වැව ආශ්‍රිත මහජන ක්‍රියාකාරකම් සඳහා සංවර්ධනය කර, භාවිත කළ හැකි හඳුනාගත් ඉඩම් කොටස් පෞද්ගලික අංශයේ ද සහභාගීත්වයෙන් සංවර්ධනය කිරීම පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරුණා.

    එමෙන්ම, බේරේ වැවට මළ අපද්‍රව්‍ය, එකතු වීම වැළැක්වීම පිළිබඳව සහ වැවේ බැක්ටීරියා හා ඇල්ගී ප්‍රතිශතය අවම කිරීමේ ව්‍යාපෘතියේ වර්තමාන ප්‍රගතිය පිළිබඳව ද සාකච්ඡා කෙරුණා.

    ස්ථාන තුනක පිහිටි මධ්‍යම බස්නැවතුම්පොළ, කොළඹ කොටුව දුම්රිය ස්ථානයට යාබදව ස්ථානගතකර දැනට බස්නැවතුම්පොළ පිහිටි ඉඩම් වාණිජමය කටයුතු සඳහා‍‍ පෞද්ගලික අංශය සමග එක්ව සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරුණා. ඊට අමතරව කොළඹ නගරයේ අනාරක්ෂිත ගස් ඉවත් කර, ඒ වෙනුවට සුදුසු ගස් වර්ග නැවත සිටුවීම‍, අත්හැරදමන ලද වල්බිහිවී ඇති ගොඩනැගිලි හඳුනාගෙන නඩත්තු කිරීමට සුදුසු වැඩපිළිවෙළක් සැකසීම, නගරයේ රථ වාහන ධාවනය, මගීන් නංවා ගැනීම හා නතර කිරීම සම්බන්ධව නියාමන සැලැස්මක් සැකසීම, වැසි ජලය බැස යාම ක්රැමවත් කිරීම සඳහා දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති ඇතුළු කරුණු රැසක් පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා.

    එළඹෙන නත්තල් සමයේ කොළඹ නරගයේ තදබදය අවම කර ගැනීම සහ කළමනාකරණය සඳහා ශ්‍රී ලංකා පොලිසිය, කොළඹ මහනගර සභාව හා වෙළෙඳ සංගම් ඒකාබද්ධව වැඩපිළිවෙළක් සකස් කිරීම කෙරෙහි ද අවධානය යොමු වුණා. අදාළ ක්ෂේත්‍රය නියෝජනය කරමින් නිලධාරින් රැසක් සාකච්ඡාවට එක්ව සිටියා.

    Latest News