Z-score සම්බන්ධ පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරයි (වීඩියෝ)

දෙසැ 23, 2020
  • මෑතකදී විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද විශ්ව විද්‍යාල කඩඉම් (ඉසෙඩ් ස්කෝර් ) ලකුණු අනූව විශ්ව විද්‍යාල ඉන්ජිනේරු සහ භෞතික විද්‍යා පීඨ සදහා සිසුන් ඇතුලත් කර ගැනීම අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු තීන්දු කළේය.

    බුවනෙක අළුවිහාරේ, එස්.තුරයි රාජා සහ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් පිළිබඳව සලකා බැලීම ඉකුත් දින තුනක් තිස්සේ සිදු කෙරිණ.

    ඉන් අනතුරුව අද දින සිය තීරණය ප්‍රකාශයට පත් කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු බුවනෙක අලුවිහාරේ මහතා මෙම පෙත්සම් සියල්ල ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල බහුතර විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට තීරණය කළ බව දැනුම් දුන්නේය.

    2019 වසරේ දී අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට නව විෂය නිර්දේශය යටතේ පෙනී සිට සමත් වූ සිසුන් හතළිස් දෙදෙනෙකු විසින් මෙම පෙත්සම් ගොනු කර තිබිණ.

    මෙම පෙත්සම් වල වගඋත්තරකරුවන් ලෙස අධ්‍යාපන ඇමති වරයා, එම අමාත්‍යාංශ ලේකම් වරයා, විභාග කොමසාරිස්වරයා, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ එහි සභාපතිවරයා, නීතිපතිවරයා මෙහි නම් කර තිබිණ.

    තමන් ගණිතය, රසායන විද්‍යාව,සහ භෞතික විද්‍යා විෂයයන් යටතේ 2019වසරේ පැවති අ.පො.ස.උසස් පෙළ විභාගයට නව විෂය නිර්දේශය යටතේ පෙනී සිට සමත් වූ බව පෙත්සම්කරුවන් කියා සිටියේය.

    විශ්ව විද්‍යාල වලට සිසුන් ඇතුලත් කර ගැනීම සඳහා වන ඉසෙඩ් ලකුණු පසුගිය දා ප්‍රකාශයට පත්කල අතර එහිදි නව විෂය නිර්දේශය යටතේ පෙනී සිටි සහ පැරණි විෂය නිර්දේශය යටතේ පෙනී සිටි සිසුන් ඇතුලත් කර ගැනීම සඳහා වන ඉසෙඩ් ලකුණු අතර විශාල පරතරයක් ඇති බවද ඔවූන් පෙන්වා දී තිබිණ.

    මේ හේතුවෙන් තමන්ට විශාල අසාධාරණයක් සිදු වීඇති බැවින් තම මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වන බවට තීරණය කරන ලෙසත්,විෂය නිර්දේශ දෙක සදහා සමාන හෝ සාධාරණ කඩඉම් (ඉසෙඩ් ස්කෝර්) ලකුණු ප්‍රමාණයක් නිකුත් කරන ලෙසට වගඋත්තරකරුවන්ට නියෝගයක් කරන ලෙස ද පෙත්සම්කරුවෝ සිය පෙත්සම මගින් ඉල්ලා තිබිණ.

    Last modified on බදාදා, 23 දෙසැම්බර් 2020 22:58

    Latest News