"Earth Watchman" වැඩ අරඹයි (විඩියෝ)

ජන 21, 2019
  • දිවයින පුරා පැළ මිලියන 2 ක් රෝපණය කිරීමේ “Earth Watchman" ව්‍යාපෘතිය, ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ ආරම්භ කෙරිණි.

    2019 ක්‍රිකට් ලෝක කුසලානයට සමගාමීව යාපනය විශ්ව විද්‍යාලයේ, කිලිනොච්චිය කෘෂි තාක්ෂණ පීඨ භූමියේ දී මෙම උත්සවය පැවැත්විණි.
    ක්‍රිකට් පිති නිර්මාණය කිරීමට කපා දමන ලද ගස්වලට ආදේශකයක් වශයෙන් සහ ක්‍රිකට් ක්‍රීඩාවට ඇති ජනප්‍රියත්වය උපයෝගී කරගනිමින් ක්‍රීඩකයන්ට සහ ක්‍රිකට් ලෝලීන්ට ගස් සිටුවීම සම්බන්ධයෙන් ඇති වගකීම පෙන්වා දීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි. ජාතික රූපවාහිනිය සහ සම්පත් බැංකුව අනුග‍්‍රහයෙන් මෙම වැඩසටහන දීප ව්‍යාප්තව ක්‍රියාවට නංවා තිබේ.

    මෙම වැඩසටහනේ සමාරම්භය සනිටුහන් කරමින් ජනාධිපතිතුමා අතින් පළමු පැළය රෝපණය කෙරුණු අතර, ඒ හා සමගාමීව පාසල් සිසුන්ගේ සහ විශ්වවිද්‍යාල සිසුන්ගේ සහභාගිත්වයෙන් එකවර පැළ 1500 ක් රෝපණය කිරීම සිදු කෙරිණි. කිලිනොච්චිය කේන්ද්‍රකර ගනිමින් සංවිධානය කෙරුණු පැළ සිටුවීමේ වැඩසටහනත් සමග උතුර දකුණ යා කරමින් සංහිඳියාව ගොඩනැගීම ද අපේක්ෂා කෙරේ. මෙම අවස්ථාවට සහභාගීවීම වෙනුවෙන් ජනාධිපතිතුමා වෙත ද විශේෂ සිහිවටන තිළිණයක් පිළිගැන්විණි.

    අමාත්‍යවරුන් වන දයා ගමගේ, රිෂාඞ් බදුර්දීන්, උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන්, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේතු මන්ත්‍රී දයාසිරි ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් යන මහත්වරුන් ද,“Earth Watchman" ව්‍යාපෘති අධ්‍යක්ෂ නලින් ආටිගල, සම්පත් බැංකුවේ ජ්‍යෙෂ්ඨ අතිරේක සාමාන්‍යාධිකාරි තාරක රන්වල, ජාතික රූපවාහිනි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් සාරංග විජේරත්න, යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ආර්. විග්නේෂ්වරන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    Last modified on සදුදා, 21 ජනවාරි 2019 20:10

    Latest News