“Earth Watchman“ දිවයින පුරා සැරිසරයි (විඩියෝ)

ජන 20, 2019
  • ජාතික රූපවාහිනියේ “Earth Watchman“ රුක් රෝපණ ව්‍යාපෘතියේ සමාරම්භක උළෙල කිලිනොච්චියේ දී හෙට පැවැත්වේ.

    ක්‍රිකට් ක්‍රීඩාව හා බද්ධ වුණු රුක් රෝපණ ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාවට නැංවේ. 

    ක්‍රිකට් ක්‍රීඩාව හා බද්ධ වුණු රුක් රෝපණ ව්‍යාපෘතියක් වශයෙන් ජාතික රූපවාහිනියේ Earth Watchman ව්‍යාපෘතියේ සමාරම්භක උළෙල හෙට (21) වැනිදා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් කිලිනොච්චියේ දී පැවැත්වේ. දීප ව්‍යාප්තව පැළ මිලියන 02ක් සිටුවීම ව්‍යාපෘතියේ මූලික අරමුණයි. සමාරම්භක උළෙල පැවැත්වෙන්නේ කිලිනොච්චියේ ස්ථාපිත කර ඇති යාපනය විශ්වවිද්‍යාලයීය ඉංජිනේරු හා කෘෂිකර්ම පීඨයේ දීය.

    ගෝලීය උණුසුම ඉහළයාමේ අභියෝගය හමුවේ ලොවපුරා රුක් රෝපණ ව්‍යාපෘති කඩිනමින් දියත් කළ යුතු බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය දැඩිව අනතුරු අඟවා තිබේ. අනාගතයේ මිනිස් ප්‍රජාවටම දරාගත නොහැකි ලෙස සෙන්ටිග්‍රේඩ් අංශක 01කට ඉහළ ප්‍රමාණයකින් මෙම උෂ්ණත්වය වර්ධනය වෙමින් පවතින බව විවිධ සමීක්‍ෂණවලින් හෙළි වී ඇත. එය වළක්වා ගැනීම හදිසි අවශ්‍යතාවයකි.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පරිසර ඇමතිවරයා වශයෙන් විවිධ හරිත ව්‍යාපෘති ආරම්භ කර ඇත. ඒ සඳහා විවිධ ආයතන පෙරටවිත් තිබේ. මෙයට සමගාමීව ජාතික රූපවාහිනිය වඩාත් ජනතා ආකර්ෂණීය ක්ෂේත්‍රයක් වන ක්‍රීඩා ක්ෂේත්‍රය ඔස්සේ මෙම Earth Watchman රුක් රෝපණ ව්‍යාපෘතිය ආරම්භ කර තිබේ. එ අනුව ශ්‍රී ලංකාවේ අතිශයින්ම ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩාව මෙම ව්‍යාපෘතිය ව්‍යාප්ත කිරීමට ශක්තියක් ලෙසින් භාවිතා කෙරේ.

    දිවයිනේ විවිධ ප්‍රදේශවලට ආවේණික පැළ වර්ග හඳුනාගෙන විද්‍යාත්මක පදනමකින් ඒවා රෝපණය සිදුවේ. විද්වතුන්ගේ මඟ පෙන්වීම ඒ සඳහා ලබා ගැ‍නේ. ක්‍රිකට් ක්‍රිඩාව සඳහා යොදා ගන්නා ක්‍රිකට් පිති, විකට්ස් සහ බේල්ස් සඳහා උපයෝගි කර ගන්නේ ද ගස්වලින් කපාගන්නා ලීය. ඒ අනුව සෙසු බොහෝ ක්ෂේත්‍රවල මෙන්ම ක්‍රිකට් ක්‍රීඩා සංස්කෘතිය තුළ සිටින සියලු දෙනාට ද මෙවන් ව්‍යාපෘතියක් ප්‍රවර්ධනය කිරීමේ වගකීමක් ඇත. අයි.සී.සී.ය. යටතේ ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් 105ක් ලියාපදිංචි වී ඇති අතර මෙම සෑම රටකටම Earth Watchman රුක් රෝපණ ව්‍යාපෘතිය රැගෙන යාමට අපේක්‍ෂා කෙරේ.

    ශ්‍රී ලංකාවේ සරසවි, පාසල්, ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ විශේෂ කාර්ය බලකාය වැනි ආයතන මෙම ව්‍යාපෘතියට සක්‍රීයව සම්බන්ධ කර ගැනේ.  දිවයිනේ වෙරළ තීරය ආවරණය වන ලෙස රුක් රෝපණ වැඩපිළිවෙළ දියත් කරන්නේ නාවික හමුදාවයි. ශ්‍රී ලංකා ක්‍රිකට් හරහා වර්තමාන ක්‍රිකට් ක්‍රීඩකයන් සහ විශ්‍රාමික ජනප්‍රිය ක්‍රීඩකයන් මෙහි සන්නාම නියෝජිතයන් ලෙස එක්වනු ඇත. 2019 මැයි 30 දා ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් ක්‍රීඩා තරගාවලිය සමඟ මෙම වැඩපිළිවෙළ ලෝක අවධානයට ලක් කිරීමට සැලසුම් කර තිබේ.

    දැනටමත් මේ පිළිබඳව අයි.සී.සී.ය සහ අයි.සී.සී. විකාශකයන්ද දැනුවත් කර ඇති අතර, එයට ලැබී තිබෙන්නේ ඉහළ ප්‍රතිචාරයකි. මෙම වැඩපිළිවෙළ සමඟ විවිධ රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන මෙන්ම අනුග්‍රාහක භවතුන් ද අත්වැල් බැඳගෙන ඇත.

     

     

    කිලිනොච්චියේ පිහිටුවා ඇති යාපනය විශ්වවිද්‍යාලයීය ඉංජිනේරු හා කෘෂිකර්ම පීඨයේ දී පැවැත්වෙන සමාරම්භක උත්සව සුදානම

    earthwatchman1 px 900 19 01 20

    earthwatchman2 px 900 19 01 20

    Last modified on සදුදා, 21 ජනවාරි 2019 18:30

    Latest News