හිටපු මන්ත්‍රී මොහොමඩ් මහරුෆ් ඇතුළු දෙදෙනකු රිමාන්ඩ්

දෙසැ 16, 2020

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අබ්දුල්ලා මොහොමඩ් මහරුෆ් ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු හෙට දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

    ඉකුත් රජය සමයේ සතොස ආයතනයේ වාහන අවභාවිත කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට ඔවුන්ව අත්අඩංගුවට ගනු ලැබුවා.

    මෙම නඩුව අද ස්කයිප් තාක්ෂණය ඔස්සේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනා ද සිල්වා මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබුවා.

    එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙහි පළමුවන සැකකාර හිටපු මන්ත්‍රීවරයා සතොස ආයතනය සඳහා කල් බදු පදනම යටතේ ලබා ගත් වාහන තුනක් අවභාවිතාවට ලක් කර තිබෙන බවට තොරතුරු හෙළි වී තිබෙන බව පැවසුවා.

    ඒ අනුව එක් වාහනයක් සඳහා රුපියල් එක්ලක්ෂ අනූ පන් දහසක මුදලක් මාසිකව කල්බදු වශයෙන් ගෙවා තිබෙන අතර මෙම සැකකරු විසින් වාහන තුනක් නීතිවිරෝධී ලෙස භාවිතා කිරීම තුළින් රුපියල් ලක්ෂ 12 හා පමණ මුදලක් අවභාවිතා කර ඇතැයි පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියා.

    ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත් වරිය මෙම සැකකරුවන් දෙදෙනා හෙට දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියම කළා.

    හෙට දින මොවුන් කොළඹ කොටුව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද නියම කළා

    Latest News