මුහුණු ආවරණ විදිමත් ලෙස බැහැර නොකිරීම බරපතල පාරිසරික හානියක් - අමාත්‍ය අමරවීර

දෙසැ 10, 2020

    භාවිතා කිරීමෙන් පසු ඉවත ලන මුහුණු ආවරණ විදිමත් ලෙස බැහැර නොකිරීම ඉදිරියේ දී බරපතල පාරිසරික හානියක් බවට පත් වේයැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    භාවිතා කිරිමෙන් පසු ඉවත ලන මුහුණු ආවරණ විදිමත් ලෙස බැහැර නොකිරීම නිසා ඉදිරියේ දී කොවිඩ් 19 වසංගත තත්ත්වය ඉහළ යාමටත්, එම වෛරසය ජල මුලාශ්‍රවලට එක් වීමෙන් අනතුරුදායක තත්ත්වයක් ඇති වියහැකි යැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.

    පරිසර අමාත්‍යාංශයේ දී (09 ) දින පැවැති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළ අතර එම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ද සහභාගි විය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා 2020 මාර්තු 17 සිට ඔක්තොම්බර් 31 දක්වා කාලය තුළ මුව ආවරණ ටොන් 495 ක් මෙරටට ආනයනය කර ඇති බවත්, එහි එහි අඩංගු මුව ආවරණ ප්‍රමාණය කෝටි 14 ක් පමණ වන බවත් අවධාරණය කළේය. එමෙන්ම පසුගිය නොවැම්බර් මාසය අවසන් වන විට KN 95 වර්ගයේ මුඛ ආවරණ මිලියන 15 ක් ආනයනය කිරීමට සමාගම් 100 ට පමණ අනුමැතිය දී ඇති බව සෞඛ්‍යය අංශ වාර්තාකර ඇති බවත්, එම නිසා මෙහි බැරූරුම් බව කෙතරම් ද යන්න වටහා ගත හැකි බවද අමාත්‍යවරයා කීය.

    එමෙන්ම රට තුළ මේ වනවිට මුව ආවරණ කර්මාන්ත ශාලා ගණනාවක් පිහිටුවා ඇති අතර මේ සියල්ලෙන්ම පරිසරයට එක් වෙන මුහුනු ආවරණ ඉදිරියේ දී බරපතල පාරිසරික ගැටලු නිර්මාණය කළ හැකි බව සඳහන් කළේය.

    මෙහිදී අදහස් පළ කළ අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාංසිහ මහතා මධ්‍යම පරිසර අධිකාරිය විසින් පළාත්පාලන ආයතන වෙත මුහුණු ආවරණ විදිමත්ව බැහැර කිරීම සඳහා මාර්ගෝපදේශණ මාලාවක් ඉදිරිපත් කර ඇති බව සඳහන් කළේය.

    නමුත් ඒවා නිසි පරිදි බැහැර කරන්නේ ද යන්න සම්බන්ධව නියාමනය විය යුත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් බවත් ඉදිරියේ දී පරිසර අමාත්‍යාංශය හා සෞඛ්‍ය අමාත්‍යාංශය ඒකාබද්ධව මෙම යාන්ත්‍රණය පුලුල්ව ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවත් අවධාරණය කළේය.

    මෙහිදී කොළඹ ආනන්ද විද්‍යාලයේ 09 වසරේ ඉගෙනුම ලබන හිමන්ත රන්දිව විමලරත්න සිසුවා විසින් නිපදවා ඇති කොවිඩ් 19 වෛරසය විනාශ කරන මුහුණු ආවරණ ඇතුලු අපද්‍රව්‍ය විනාශ කළ හැකි නව නිපැයුම අමාත්‍යවරයාහට ඉදිරිපත් කළේය.

    පසුගිය සතිය තුළ මාධ්‍ය විසින් මෙම නව නිපැයුම් සම්බන්ධව දක්වන ලද උනන්දුව අගය කළ අමාත්‍යවරයා කොවිඩ් 19 නිසා පාසැල් වසා දමා ඇති මෙවැනි අවස්ථාවක කාලය අපතේ නොහරිමින් රටට ප්‍රයෝජනවත් නව නිපැයුමක් හඳුන්වා දීම අගයමින් එම දරුවාට තෑගි බෝග රැසක් හා කාර්යය අගයමින් සහතික පත්‍රියක් ද පිරිනමනු ලැබීය.

    කෙසේ වුවද මෙම දරුවාගේ දක්ෂතාවය අගයමින් පළමුවරට එම දරුවා ඇගයීමට ලක් කළේ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා බව කී ආනන්ද විදුහලේ විදුහල්පති එස්. එම්. කීර්තිරත්න මහතා ඒ සම්බන්ධව ඇමැතිතුමාටත්, ආදි ආනන්දියෙක් වන අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට සිය කෘතඥතාවය පළ කළේය.

    මෙම අවස්ථාවට ආනන්ද විදුහලේ විදුහල්පති එස්. එම්. කීර්තිරත්න, එම දරුවාගේ මව වන අනෝමා රංජනී ජයතිලක, පන්තිබාර ගුරුතුමිය වන දර්ශනි පෙරේරා මහත්මිය ද සහභාගි වූහ.

    Latest News