අග්‍රාමාත්‍යතුමා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ හා රුවන්වැලි සෑය වැදපුදා ගනියි

නොවැ 15, 2020

    රටවැසි සහ ලෝවැසි ජනතාව මුහුණ පා සිටින කොරෝනා වසංගතයෙන් අත්මිදීම සඳහා ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමේ අරමුණින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් අද (15) පෙරවරුවේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැද පුදා ගැනීමේ අවස්ථාවට එක් විය.

    සියම් නිකායේ මල්වතු පාර්ශ්වයේ උතුරු මධ්‍යම පළාතේ ප්‍රධාන සංඝනායක, අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් බැහැ දුටු අග්‍රාමාත්‍යතුමා උන්වහන්සේගෙන් ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව ආගමික වතාවත්වල නිරත වී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැද පුදා ගෙන ආශිර්වාද ලබා ගත්තේය.

    අනතුරුව රුවන්වැලි චෛත්‍යාධිකාරී, රුවන්වැලි මහා සෑ විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් බැහැ දුටු අග්‍රාමාත්‍යතුමා උන්වහන්සේගෙන් ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව ‍චෛත්‍ය රාජයාණන් අභියස දී ආගමික වතාවත්වල නිරත වී ආශිර්වාද ලබා ගත්තේය.

    මෙම අවස්ථාව සඳහා අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිණිය, අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන, රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.පී.එස්. කුමාරසිරි, අනුරාධපුර නගරාධිපති එච්.පී. සෝමදාස මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    Latest News