හෙරොයින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට යාමේ දී උණුසුම් තත්ත්වයක් (වීඩියෝ)

නොවැ 15, 2020
  • ඊයේ (14) රාත්‍රි මොනරාගල වදිනහෙලයාය ප්‍රදේශයේ හෙරොයින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සිදු කළ පොලිස් වැටලීමකදී දැඩි උණුසුම් තත්ත්වයක් ඇති වූ බව වාර්තාවේ.

    මොනරාගල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයේ වදිනහෙලයාය ප්‍රදේශයේ දී ඊයේ (14) රාත්‍රි සිදු කළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් අටයි මිලිග්‍රෑම් අටසිය තිහක් සමග සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙහිදී එක් සැකකරුවකු සන්තකයේ හෙරොයින් ග්‍රෑම් හයයි මිලිග්‍රෑම් දෙසිය පනහක් තිබී ඇති අතර ඔහු වැල්ලවාය ප්‍රදේශයේ ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවරම්කරුවකු වනතිස් හය හැවිරිදි ආමි චන්ඩි නොහොත් චන්දන නැමැති පුද්ගලයා බව පොලිසිය පැවසීය.

    අනෙක් සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් දෙකයි මිලිග්‍රෑම් පන්සිය අසූවක් තිබී පොලිසිය විසින් සොයාගෙන ඇති අතර ඔහු බදුල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු දහනවයක් පුද්ගලයකු බව පොලිසිය සදහන් කළේය.

    පොලිසිය විසින් මෙහෙයුම සිදු කර සැකකරුවන් අත්අඩංගුවට ගෙන පොලිසියට රැගෙන එන අතර එම ස්ථානයට පැමිණි සැකකරුගේ පවුලේ උදවිය සහ ගම්මානයේ කිහිපදෙනක් පොලිසිය සමග ගැටුමකද නිරත විය.

    එහිදී දැඩි උණුසුම් තත්ත්වයක් ඇති වූ අතර පසුව පොලිසිය විසින් සාර්ථකව සැකකරුවන් අත්අඩංගුවට ගෙන එම ස්ථානයේන් පිටව ගොස් ඇත.

    මෙම උණුසුම් අවස්ථාවේ දී පොලිසිය විසින් පහරදුන් බව පවසා කාන්තාවක් වැල්ලවාය මූලික රෝහලට ඇතුළුත් වී ඇති අතර මෙහිදී තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයකු ද තුවාල ලබා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළුත් කර තිබේ.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර වැල්ලවාය පොලිසිය විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.

    Latest News