අගමැතිතුමා “අමාදම් සිසිලස” 203 වැන්නට එක්වෙයි

ඔක් 30, 2020

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ සංකල්පයකට අනුව සෑම පුන් පොහෝ දිනකම පවත්වන “අමාදම් සිසිලස” ධර්ම දේශනා මාලාවේ 203 වැන්න අද (30) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

    ප්‍රථමයෙන් ආගමික වතාවත්වල නියැළුණු අග්‍රාමාත්‍යතුමා, එතුමාගේ ඡන්ම දිනය නිමිත්තෙන් හා කොව්ඩි-19 වසංගතය හමුවේ රටට සෙත් පතා සෝමාවතී පුදබිම වෙත පූජා කිරීමට නියමිත, මුතු පබළුවලින් අලංකාර කළ අඩි 6ක් උසැති කරඬුව වැඳ පුදා ගත්තේය.

    බුදු දහමේ සිසිලස සකළ ලෝ වැසියන්ට බෙදා දීමේ උදාර අරමුණ පෙරදැරිකර පවත්වන මෙම ධර්ම දේශනා මාලාවේ මෙවර ධර්ම දේශනාව පැවැත්වූයේ මහනුවර, පූජ්‍ය අලුත්ගම පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ විසිනි.

    අග්‍රාමාත්‍යතුමාගේ සංකල්පයකට අනුව සෑම පුන් පොහෝ දිනකම පැවැත්වෙන “අමාදම් සිසිලස” ධර්ම දේශනා මාලාව පිළිබඳව මහා සංඝරත්නය සතුටු වන බව පැවසූ උන්වහන්සේ 203 වාරයක් පවත්වන්නට යෙදුණු මෙම ධර්ම දේශනා මාලාව තුළින් එක් දිනකට එක් අයෙකු බැඟින් හෝ ජීවිතය වෙනස්කර ගත්තානම් එම කුසල බලය ද අග්‍රාමාත්‍යතුමාට හිමිවන බව පැවසූහ.

    දිනූ දේශය මෙන්ම සංසාර දුක කෙලවර කරගෙන සසර දුකින් මිදීමටත්, අන් අය මුදාගැනීමටත් කටයුතු කරනු ලබන අග්‍රාමාත්‍යතුමා රටට ණය නැති පුරවැසියෙකු බවද උන්වහන්සේ දේශනා කළහ.

    කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් පැවති ධර්ම දේශනාව සැදැහැවතුන්ගේ සහභාගීත්වයකින් තොරව අග්‍රාමාත්‍යතුමා ප්‍රමුඛ පවුලේ කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

    Latest News