ජනපති හා අගමැති නබි නායක දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරයි

ඔක් 30, 2020

    ශ්‍රී ලාංකේය මුස්ලිම් බැතිමත්හු ලොව පුරා විසිරී සිටින මුස්ලිම් ප්‍රජාව සමග සහෝදරත්වයෙන් යුතුව, මුහම්මද් නබිතුමාගේ උපත සලකුණු කෙරෙන මිලාදුන් නබි දිනය අද සතුටින් සමරති.

    මුහම්මද්තුමා මිනිසත් බව වෙනුවෙන් කළ කැපකිරීම් පරමාදර්ශය කොට ජීවත් වීම යහපත් සහ සංවර්ධිත සමාජයකට අත්තිවාරම නිර්මාණය කරන බව මගේ පිළිගැනීමය.

    අප අන්‍යයන් කෙරෙහි පැවතිය යුත්තේ මුහම්මද්තුමා දේශනා කළ ගුණාංග ගුරු කොට ගනිමින් උනුන් අතර වෛරය හා සැකය තුරන් කෙරෙන අයුරිනි.

    පෙර නොවූ විරූ ගැටළු රැසක් මතු කරමින් ලොව පුරා පැතිර යන කොවිඩ් – 19 වසංගතය හමුවේ මුළු මහත් මිනිස් සංහතියම අභියෝගයකට මුහුණ දී සිටී.

    මෙවන් කාලවකවානුවක ආගමික විශ්වාසයන්ට මුල්තැන දෙමින් ජීවත්වීම මානසික සහනය උදා කරයි.

    එසේම අන්‍යෝන්‍ය සුබසිද්ධිය, ජන කොටස් අතර සංහිඳියාව සහ පොදු යහපත සාක්ෂාත් කර ගනු පිණිස නබි නායකතුමාගේ චරිතයෙන් උකහා ගත් යහ ධර්මයන් අප විසින් සමාජ ගත කළ යුතුව තිබේ.

    නබි නායකතුමාගේ ඡන්ම දිනය සැමරෙන මෙසමයේ එතුමන් පෙන්වා දුන් වටිනාකම් සමග අනුගත වෙමින් සෑම ආකාරයකම අන්තවාදය පරාජය කොට යහපත් සමාජයක් නිර්මාණය කිරීමේ අධිෂ්ඨානයෙන් ඉස්ලාමීය බැතිමතුන් අත්වැල් බැඳ ගනු ඇතැයි මම විශ්වාස කරමි.

    ශ්‍රී ලාංකේය මුස්ලිම් ප්‍රජාවට මෙන්ම ලෝකවාසී මුස්ලිම් ජනතාවට ප්‍රීතිමත් මිලාදුන් නබි දිනයක් ප්‍රාර්ථනා කරමි.

     

     

    ශුද්ධ වූ මුහම්මද් නබිනායකතුමාගේ උපන් දිනය සමරන සියලුම ශ්‍රී ලාංකික ඉස්ලාම් ජනතාවට මාගේ ශුභාශිංසන එක් කරන්නේ ඉමහත් සතුටිනි.

    මනුෂ්‍යත්වයෙන් පිරිපුන් ගෞරවණීය මානව ප්‍රේමයක් ගොඩනැගීමට කැපවූ නබි නායකතුමන්ගේ උපන්දිනය, අදට යෙදී තිබේ.

    ලොව පුරා වෙසෙන ඉස්ලාම් බැතිමත්හු අද දින මහත් උත්සවාකාරයෙන් නබි නායකතුමාගේ උපන්දිනය ආගමානුකූලව සමරති.

    අන් අය අතර විශ්වාස ගොඩ නගාගත් එතුමන් අල් අමීන් හෙවත් විශ්වාසවන්තයා යන නාමයෙන් ද ප්‍රචලිත විය.

    මුහම්මද් නබිතුමන් සුවිශේෂි කරුණු මත අන් අය අතර ප්‍රචලිත වූ අතර ඉස්ලාම් දහම ලොවපුරා ව්‍යාප්ත කරමින් ඔහුට හතලිස් වැනි වියේ දී අල්ලා දෙවියන්ගේ පණිවුඩකරුවීමේ වරම ලැබිණි.

    අනතුරුව අරාබිකරයේ ප්‍රජාව නිවරදි මඟට යොමු කිරීමට කටයුතු කළ එතුමන් වසර 23ක් තිස්සේ දෙවිඳුන්ගෙන් ලැබුණු මෙහෙවර ඉටු කළේය.

    ස්වකීය ජීවිතය පුරා එතුමා සුරැකි ගුණාංග, මිනිසත් බව වෙනුවෙන් කළ කැපකිරීම් අපිරිමිතය.

    අනෝන්‍ය අවබෝධය, සහෝදරත්වය, එකිනෙකාට උපකාර කිරීම හා සාධාරණත්වය, මුහම්මද් නබිතුමාගේ මූලික ඉගැන්වීම්වල හරයයි.

    එසේම මෙලොව පහළ වූ ශාස්තෘවරුන් අතර නබි නායකතුමන්ගේ දර්ශනය වූයේ මානව සමාජය ගුණ නැණ බලෙන් හා අවිහිංසාවාදයෙන් පුරවාලීමයි.

    ඉස්ලාමීය රටවල් ජාත්‍යන්තර සංවිධාන තුළ කවදත් ශ්‍රී ලංකාවට කොන්දේසි විරහිතව සහයෝගය දක්වා ඇත.

    අපට ලබා දුන් ඒ අන්තර්ජාතික සහයෝගයට කෘතඥතාව ප්‍රකාශ කිරීමටත්, එම රටවල සියලු ම ඉස්ලාමීය බැතිමතුන් වෙත නබි නායකතුමන්ගේ උපන් දිනය යෙදෙන අද දිනයේ සුබ පැතුම් එක් කිරීමටත් කැමැත්තෙමි.

    එසේම, කොවිඩ් - 19 වසංගත තත්ත්වය හමුවේ ලොවක් ලෙස දැඩි අර්බුදකාරී යුගයකට අප මුහුණ දී ඇත්තෙමු.

    ඒ නිසාවෙන් නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින්, ඉස්ලාමීය මඟපෙන්වීම්වලට අනුව මේ උතුම් දිනය සමරන ලෙස ඉල්ලා සිටිමි.

    සෑම මිනිසකුටම සමාන අයිතියක් ලැබිය යුතු බව ලොවට දේශනා කළ නබි නායකතුමන්ගේ ඉගැන්වීම් අනුව යමින් යහපත් සමාජයක් නිර්මාණය කිරීමට ඇවැසි ගුණධර්මයන් සමාජගත කරමින් ඒකීය ශ්‍රී ලංකාවක් කරා යන ගමනට අත්වැලක් වන ලෙසත්, සියලු ලෝකවාසී ජනතාව මෙම වසංගතයෙන් ආරක්ෂා කර දෙන ලෙස ප්‍රාර්ථනා කරන ලෙසත්, සියලු ඉස්ලාම් ජනතාවගෙන් ඉල්ලා සිටිමි.

    ආගමික වතාවත්වල යෙදෙමින්, දුප්පතුන්ට පිහිට වෙමින්, නබි නායකතුමන්ගේ ඉගැන්වීම් මෙනෙහි කරමින් මිලාඩ් උන් - නබි දිනය සමරන සියලුම ශ්‍රී ලාංකික ඉස්ලාම් ජනතාවට මෙන්ම ලෝකවාසී ඉස්ලාමීය ජනතාවට ප්‍රීතිමත් මිලාඩ් - උන් - නබි දිනයක් ප්‍රාර්ථනා කරමි!

    Latest News