බස්නාහිර රාජ්‍ය ආයතන වලට නිවසේ සිට වැඩ කරන ක්‍රමය යළි නියම කෙරේ ....

ඔක් 30, 2020

    කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කරනු පිණිස “නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමය” යළි ක්‍රියාත්මක කරන්නැයි බස්නාහිර පළාතේ සහ සෙසු ප්‍රධාන නගරවල රාජ්‍ය ආයතන වලට නියම කෙරේ.

    2020 අප්‍රේල් සිට මැයි දක්වා මාසවල ක්‍රියාත්මක කළ “නිවසේ සිට වැඩ කිරීමේ කාලය” තුළ ලැබූ අත්දැකීම් උපයෝගී කරගෙන අත්‍යාවශ්‍ය සහ වෙනත් සේවා සම්පාදනයට විකල්ප සැලසුම් සකස් කරන මෙන් ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබේ.

    ඊට අදාළ චක්‍රලේඛය ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් ඊයේ (29) සියලු අමාත්‍යාංශ සහ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සභාපතිවරුන් සහ සාමාන්‍යාධිකාරීවරුන් වෙත යොමු කරනු ලැබීය.

    වෛරස ව්‍යාප්තිය නිසා සංචරනය සීමා කර ඇති කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක වලට එය විශේෂයෙන් අදාළ වේ.

    මේ දිස්ත්‍රික්ක සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් අවධානම් කලාප ලෙස නම් කර ඇති ප්‍රදේශ හැර සෙසු දිස්ත්‍රික්කවල පිහිටා ඇති රාජ්‍ය ආයතන දැඩි සෞඛ්‍ය නීති රීති යටතේ සාමාන්‍ය පරිදි පවත්වාගෙන යා යුතුය.

    කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා තම විෂය පථය යටතට ගැනෙන සියලු පහසුකම් සැලසීමට ආයතන ප්‍රධානීන් පෞද්ගලිකවම බැඳී සිටින බව ලේකම්වරයා සඳහන් කරයි.

    එක් එක් ආයතනයට දුරස්ථව ඉටු කළ හැකි කාර්යයන් සහ නිවසේ සිට සේවය කළයුතු සේවකයන් තීරණය කිරීමේ බලය ආයතන ප්‍රධානියාට පැවරේ.

    එසේ නිශ්චය කිරීමෙන් පසු අදාළ ලිපි ගොනු සහ උපකරණ නිසි අවසරයක් ඇතිව සේවකයන්ගේ නිවෙස් වෙත ලබාදිය යුතුයි.

    නිවසේ සිට වැඩ කරන කාලය, උදේ 8.30 - සවස 4.15 දක්වා වේ.

    ඇඳිරි නීතිය පනවා නැති අවස්ථාවක අවශ්‍යතාව අනුව එය වෙනස් කිරීමට ආයතන ප්‍රධානියාට පිළිවන.

    “නිවසේ සිට වැඩ” සැලැස්මට අයත් නොවන සේවකයන් අතිරේක මානව සම්පත් අවශ්‍ය ආයතන වෙත අනුයුක්ත කළ හැකිය.

     

    පාසල් සිසුන් සඳහා අධ්‍යාපනික රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකා ආරම්භ කිරීම, විද්‍යුත් මාධ්‍ය ඔස්සේ අධ්‍යාපන වැඩසටහන් විකාශනය, සුබසාධන සේවා අඛණ්ඩව සැලසීම, ආබාධිත සහ නිදන්ගත රෝගවලින් පෙළෙන අයගේ නිවෙස්වලටම අවශ්‍ය සේවා සැපයීම ඒ අතර වේ.

    සියලු රාජ්‍ය ආයතන කෙරෝනා වෛරස ව්‍යාප්තිය මර්දනය සඳහා සෞඛ්‍ය බලධාරීන් නියම කර ඇති විධිවිධාන අවශ්‍යයෙන්ම පිළිපැදිය යුතුයයි චක්‍රලේඛය කියා සිටී.

    සෞඛ්‍ය ප්‍රමිතීන් අනුගමනය කිරීමට අදාළව “ආදර්ශ පරිශ්‍රයක්”(Role model) ලෙස එක් එක් සේවා ස්ථානය පවත්වාගත යුතු බව ද ඉන් නිර්දේශ කොට තිබේ.

    වරාය හා ආශ්‍රිත කාර්යයන්, රේගුව, ජලය හා විදුලිය ඇතුළු අත්‍යාවශ්‍ය සේවා අඩාලවීමකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යා යුතු බව ද චක්‍රලේඛය ආයතන ප්‍රධානීන්ට දැනුම් දෙයි.

    Latest News