(UPDATE) අද කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 414 යි

ඔක් 29, 2020

    කොවිඩ් - 19 වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 414දෙනෙකු හදුනාගෙන තිබේ.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ එම ආසාදිතයින්ගෙන් 62දෙනෙකු නිරෝධායනය වෙමින් සිටි අයවලුන් බවයි.

    අනෙක් රෝගීන් 352දෙනා ආශ්‍රිතයින් බවට තහවුරු වී තිබේ.

    ඒ අනුව අද දිනයේ මේ දක්වා වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව ද 414ක් වේ.

     

     

    මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් -19 පොකුරෙන් වාර්තා වන සමස්ථ ආසාදිතයින්ගේ ගණන 5731සීමාව ඉක්මවා ගොස් තිබේ.

    ඒ ඊයේ (28) දිනයේ හඳුනාගැණුනු නව ආසාදිතයින් 335 දෙනා ද සමගය.

    ඊයේ දිනයේ හඳුනාගැණුනු ආසාදිතයින්ගෙන් 27 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන තුළින් හඳුනාගෙන ඇති අතර, අනෙක් ආසාදිතයින් 308 දෙනා පෑලියගොඩ සහ මිනුවන්ගොඩ කොවිඩ් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

    ඒ අනුව මිනුවන්ගොඩ සහ පෑලිගොඩ කොවිඩ් - 19 පොකුරේ සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 5731 දක්වා ඉහළ ගොස් තිබේ.

    එමෙන්ම මෙරට සමස්ථ කොවිඩ් - 19 ආසාදිතයින් සංඛ්‍යාව ද මේ වනවිට 9205 සීමාව ඉක්මවා ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

    ඉන් රෝගීන් 4075දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.

    ඒ අනුව රෝගීන් 5,111 දෙනෙකු තවදුරටත් පූර්ණ වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල් ගතව ප්‍රතිකාර ලබයි.

    පසුගිය දින 06 තුළ පමණක් කොවිඩ් - 19 ආසාදිතයින් 2,883 දෙනෙකු හඳුනාගෙන ඇති අතර මෙරටින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වූයේ පසුගිය 23 වැනි දිනයි.

    මේ වනවිට කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් තිබේ.

     

     

    බදුල්ල දිස්ත්‍රික්කයෙන් කොවිඩ් - 19 ආසාදිතයන් 16 දෙනෙක් අද (29) වනවිට හමුවී ඇති බව වාර්තා වේ.

    දියතලාවෙන් - 04

    බණ්ඩාරවෙල - 03

    හපුතලෙන් - 02
    හාලිඇල (රොස්ට්වත්ත) පස්සර ( නගරය) ලුනුගල (සෝලන්ඩ්ස් වත්ත) ඌවපරණගම, වැලිමඩ, මහියංගණය (මකුල්ගොල්ල), ගිරාදුරුකෝට්ට (උල්හිටිය) යන ප්‍රදේශ වලින් එක්කෙනා බැගින් 07කු වාර්තාවේ. ඔවුන් සියලු දෙනා පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් බවයි වාර්තා වන්නේ.

     

     

    පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපළේ පොලිස් මුරපොළට අනුයුක්තව සේවය කළ පොලිස් නිලධාරියෙකුට කොරෝනා වෛරසය ආසාදනයවී ඇති බව තහවුරුවී ඇත.

     

     

    මොරටුවෙන් කොරෝනා වෛයිරස් ආසාදිතයන් 81 දෙනෙකු වාර්තාවී ඇතැයි, මොරටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිළධාරියෙක් පවසයි.

    එගොඩඋයන මහජන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයට අයත් ප්‍රදේශයේ 11 දෙනෙකු, මොරටුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයට අයත් ප්‍රදේශයන්හි 48 දෙනෙකු ද ඊයේ (28) වනවිට වාර්තා විය.

    මොරටුවේ කොවිඩ් ආසාදිත සංඛ්‍යාව ඉහළ ගොස් ඇති අතර, පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළට ආශ්‍රිත සම්බන්ධ මත්ස්‍ය වෙළෙඳාමේ නිරත වන පිරිස් අඟුලාන, කොරළවැල්ල, එගොඩඋයන ප්‍රදේශයන්හි වැඩි වශයෙන් සිටින බවත් එම නිළධාරියා පැවැසීය.

     

     

    වැල්ලවත්ත කොලින්වුඩ් පටුමග ප්‍රදේශයේ පදිංචිකරුවෙකුට කොවිඩ් - 19 වෛරසය ආසාදනයවී ඇති බවට තහවුරුවී තිබේ.

    මොහු ඉන්දීය ජාතිකයෙකු බවට ද තොරතුරු අනාවරණයවී ඇත.

    එම ආසාදිතයා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

     

     

    කොරෝනා ආසාදනය වී ඇතැයි සැක කෙරෙන රෝගීන් දෙදෙනකු දඹුල්ල මූලික රෝහලේදී මියගොස් ඇතැයි, එහි වෛද්‍ය අධිකාරී ප්‍රදීප් දිසානායක මහතා පවසයි.

    මියගොස් ඇති දෙදෙනාම වයෝවෘද්ධ කාන්තාවන් බවයි වාර්තා වන්නේ.

    මෘත ශරීර දෙකෙහිම පීසීආර් පරීක්ෂණ පවත්වා ඇති බවත්, එහි වාර්තා ලැබීමෙන් පසුව අනෙකුත් ගත යුතු ක්‍රියාමාර්ග ගන්නා බවයි පැවසෙන්නේ.

     

     

    ඇහැළියගොඩ පොලිස් බල ප්‍රදේශය තුළ අද (29) රාත්‍රි 12.00 සිට ලබන 02 වැනි දින එනම් සඳුදා උදෑසන 5.00 දක්වා සංචරණ සීමා පැනවීමට ඇහැළියගොඩ ප්‍රාදේශීය කොරොනා මර්දන කමිටුව තීරණය කළේය.

    රත්නපුර දිස්ත්‍රික්කයේ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් එනම් ආසාදිතයින් 08 කු ඇහැළියගොඩ කොට්ඨාසයෙන් වාර්තාවීමත් සමඟ මෙම තීරණය ගත් බව ඇහැළියගොඩ ප්‍රාදේශීය සෞඛ්‍ය වෙද්‍ය නිලධාරී නන්දන කුමාරසිංහ මහතා ප්‍රකාශ කරයි.

    රත්නපුර සිරිපාගම, මල්වල සහ අවට ප්‍රදේශවලට පැනවු සංචරණ සීමාවන් තවදුරටත් ක්‍රියාත්මකයි.

     

     

    තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ වෙළදසැල් 11ක් අද (29) දින සිට තාවකාලිකව වසා දැමිමට කටයුතු කළ බව තඹුත්තේගම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී වෛද්‍ය මිලාන් යහතුගොඩ මහතා පැවසීය.

    මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ සිට තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයට පැමිණි ව්‍යාපාරිකයෙකුට කොරෝනා රෝගය වැළදි ඇති බවට තහවුරුවීම නිසා මෙම පියවර ගෙන ඇත.

    මෙම ව්‍යාපාරිකයා පසුගිය 18 සහ 19 යන දින දෙකේ තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයට පැමිණ පසුව මීගොඩ බලා පිටත්ව ගොස් තිබේ.

    පසුව මෙම පුද්ගලයාට කොරෝනා වෛරසය ආසාදිතවී ඇති බවට තහවුරුවීම නිසා තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ වෙළද සැල් 11 ක් මෙලෙස වසාදැමීමට පියවර ගෙන ඇත.

     

     

    අක්මීමන තොටගොඩ පස්මාළුව ප්‍රදේශයේ පුද්ගලයකුට නව කොරෝනා වෛසරය ආසාදනයවී ඇති බවට තහවුරුවී ඇති බව වාර්තා වේ.

    මෙම පුද්ගලයා විදේශගතවීම සඳහා විසා ලබාගැනීමට පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකින් වෛද්‍ය පරික්ෂණයක් සිදුකරගෙන ඇත.

    එහිදී සිදුකළ පී.සී.ආර් පරික්ෂණයේ දී මෙම පුද්ගලයාට කොරෝනා වෛසරය ආසාදනයවී ඇති බවට තහවුරුවී ඇති බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.

    මෙම පුද්ගලයා ඊයේ (28) රාත්‍රියේදීම හම්බන්තොට රෝහල පිටත්කර යැවීමට කටයුතු කර ඇත.

    මෙම පුද්ගලයාගේ සහෝදරයක් සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ නිරෝධායනයවී එම නිවසට පැමිණ තිබේ.

    ඔහු නිවසට එවීමට පෙර සිදුකළ පී.සී.ආර්. පරික්ෂණය නෙගටිව් වීම නිසා ඔහු නිවසට පැමිණ ඇති අතර, මොහුගෙන් මෙම පුද්ගලයාට වෛරසය ආසාදනය වූවාදැයි පරීක්ෂණ සිදු කරමින් පවතී.

    ඒ සඳහා ඔහුට අද (29) දින පී සී ආර් පරීක්ෂණයක් සිදු කිරීමට නියමිතයි.

     

     

    පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයෙන් කොරෝනා ආසාදනය වූ පුද්ගලයන් දෙදෙනෙක් පස්සරට හා ලුණුගලට පැමිණ සැඟවී සිටියදී පසුගියදා 27 සොයාගත් බව පොලිසිය පවසයි.

    පස්සර ආසාදිතයාගේ ආශ්‍රිතයන් බවට හඳුනාගත් පවුලේ සාමාජිකයන් ඇතුළු 40 දෙනෙක් සිය නිවෙස් තුළම ස්වයං නිරෝධායනයට ලක්කර ඊයේ (28) පී.සී.ආර්. පරීක්ෂණ සිදුකළ බව පස්සර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

    මෙම ආසාදිතයාගේ පුත්‍රයකු රැකියාව කරන පස්සර නගරයේ බේකරියක් තාවකාලිකව වසා දැමීමටත් එහි කාර්ය මණ්ඩලය ස්වයං නිරෝධායනයට ලක් කිරීමටත් කටයුතු කර තිබේ.

    ලුණුගල ආසාදිතයා හමුවී ඇත්තේ, ලුණුගල සෝලන්ඩ්ස් වත්තෙන් බවයි පැවසෙන්නේ.

     

     

    බගවන්තලාව ප්‍රදේශයේ නිරෝධායනය වෙමින් සිටින කාන්තාවන් දෙදෙනෙකුට කොවිඩ් - 19 වෛරසය ආසාදනයවී තිබේ.

    සෞඛ්‍ය අංශ පැවසුවේ, එක් කාන්තාවකගේ සැමියා පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ ආශ්‍රිතයෙකු වන අතර, ඔහුට මීට පෙර වෛරසය ආසාදනයවී ඇති බවයි.

    එම ආසාදිතයාගේ බිරිඳ සහ පවුලේ සාමාජිකයින් ස්වයං නිරෝධානයට යොමුකර තිබිය ද සිදුකළ පී.සී.ආර් පරීක්ෂණ වාර්තාවේ දී ආසාදිතයාගේ බිරිඳට සහ බිරිඳගේ නැගණියට මෙලෙස කොවිඩ් - 19 වෛසරය වැළඳී ඇතැයි, අනාවරණයවී තිබේ.

    වෛසරය ආසාදනය වු කාන්තාවන් දෙදෙනා බගවන්තලාව නගරයේ පිහිටි හින්දු කොවිලේ පුජාවකට සහභාගීවී ඇති බැවින් එම කොවිලේ පුජකවරයා ඇතුළු කාර්යය මණ්ඩලයේ 7 දෙනෙකු ස්වයං නිරෝධානයට යොමු කිරීමට මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන් කටයුතු කර ඇත.

    එම කොවිලේ පැවති පුජාවන් වලට සහභාගී වු ආශ්‍රිතයන් සොයා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර තිබේ.

     

     

    පාර්ලිමේන්තුව ආවරණය කළ මුද්‍රිත මාධ්‍ය ආයනතනයක මාධ්‍යවේදියෙකුට කොවිඩ් - 19 වෛරසය ආසාදනයවී ඇති බව වාර්තා වේ.

    ඔහු පෞද්ගලික රෝහලකින් පලමු පී.සී.ආර් පරීක්ෂණය සිදුකර ඇති අතර, එහිදී ඔහුට කොවිඩ් - 19 වෛරසය ආසාදිත බවට තහවුරුවී තිබේ.

    ඒ අනුව ලබන සතියේ පාර්ලිමේන්තු වාර්තාකරණය ආවරණය කිරීම මාධ්‍ය වෙත විවෘත නොකිරීමට වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා මේ වනවිට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

    කෙසේ වෙතත් අදාළ මාධ්‍යවේදියාගේ දෙවන පී.සී.ආර් පරීක්ෂණය රජයේ රෝහලකින් සිදු කිරීමට නියමිත අතර එහි වාර්තාව ලැබීමෙන් පසුව පාර්ලිමේන්තුව ආවරණය කළ මාධ්‍යවේදීන් ස්වයං නිරෝධායනයට ලක්විය යුතුද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිතයි.

     

     

    පසුගියදා වාද්දුව ප්‍රදේශයේ මාළු ව්‍යාපාරිකයින් හා ආශ්‍රිතයන්ගෙන් කරන ලද පී.සී.ආර් පරීක්ෂණයකින් අද දින දාහතර දෙනෙකු positive වීමත් සමග වාද්දුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය හා wadduwa පොලිසිය එක්ව වාද්දුව දුම්රිය පොල පාරේ පිහිටි මත්ස්‍ය වෙළෙඳ පොළ හා ආශ්‍රිත කඩ සාප්පු වසා දැමීමට කටයුතු කරන ලදී.

    එමෙන්ම ආශ්‍රිත ප්‍රදේශය විෂබීජාණුහරණය කරන ලදී.

    වාද්දුව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක S A D සමන්ත මහතා පැවසුවේ positive පුද්ගලයන් රෝහල්ගත කිරීමට හා ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කොට තීරණය කරන බවත්ය.

     

     

    කම්කරු මහ‍ ලේකම් කාර්යාල ‍ගොඩනැගිල්ලේ පිවිසුමේ ආරක්ෂක නිලධාරින් හතර දෙනෙකුට හා අමාත්‍යංශ රියැදුරෙකුට කොවිඩ් - 19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් පූනානි නිරෝධායන කඳවුරට යවනු ලැබ ඇත.

    එම ගොඩනැගිල්ලේ බිම් මහලේ පිහිටි ආපනශාලාව කරගෙන යන තැනැත්තා පසුගියදා පෑලියගොඩ මාළු වෙළඳසැළට ගොස් මාළු ගෙනැවිත් ඇති බැවින් ඔහුගෙන් මෙම පිරිස වෙත රෝගය ආසාදනය වන්නට ඇතැයි සැක කෙරේ.

    ආපනශාලා හිමියා පීසීආර් පරික්ෂණයට ලක්කළ අවස්ථාවේ ඔහු ආසාදිත නැතැයි ‍හෙළිවී ඇතත් ඔහුගේ සමීපතම තැනැත්තන් ලෙස මෙම පිරිස පරික්ෂණයට ලක්කිරීමේ දී ඔවුන් ආසාදනයට ලක්ව ඇතැයි හෙළිවී යැයි කම්කරු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්  පවසයි.

    මේ අනුව ආසාදිතයන් ගේ සමීපතමයින් ද පීසීආර් පරික්ෂණවලට යොමු කළ බවත් මත්ස්‍ය වෙළඳපොලට ගිය බැවින් පළමුවෙන් පරික්ෂාවට ලක් කල තැනැත්තා ද යළි පරික්ෂාවට ලක්කළ බවත් හෙතෙම කියා සිටියේය.

     

     

    ගාල්ල ලබුදූව කුරුන්ද කන්ද ප්‍රදේශයේ පදිංචි 23ක් හැවිරිදි තරුණයෙකුට ද කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී තිබේ.

    සෞඛ්‍ය අංශ පැවසුවේ මොහුගේ ඥාතියෙකු පසුගියදා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වී පසුගියදා නිවසට පැමිණ ඇතත් ඒ පිළිබඳව නිලධාරීන් දැනුවත් කර නොමැති බවය.

    අදාළ ආසාදිත තරුණයා ඊයේ (28) දිනයේ දී ජපානය බලා පිටත්ව යාමට සූදානම් සිටි පුද්ගලයෙක් බව ද වාර්තා වේ.

     

     

    කෝවිඩ් රෝගියකු හමුවීම නිසා බණ්ඩාරවෙල තොග පොල අද (29 ) තාවකාලිකව වසා තැබීමට පියවර ගත් බව බණ්ඩාරවල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩී එම් ආර් දිසානායක මහතා පැවසීය.

    බණ්ඩාරවෙල මාතැටිල්ල ආසාදිත පුද්ගලයාගේ මාමා තොග පොළේ සේවය කරන අතර ඔහුගේ බිරිද සහ දියණියට ද කෝවිඩ් 19 වැළඳී ඇති බව පීසී ආර් පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.

    මේ දිනවල බණ්ඩාරවෙල තොග පොළට පාරිභෝගික කටයුතු වෙනුවෙන් පැමිණි සියලු දෙනා මේ පිළිබඳව අවධානයෙන් සිටින ලෙස ද ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා අවශ්‍ය සහාය ලබාදෙන ලෙසද පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක දිසානායක මහතා ඉල්ලා සිටියේය.

     

     

    රට තුළ පවතින කොරෝනා වසංගතය හේතුවෙන් බලන්ගොඩ නගරයේ ඇති මාළු වෙළෙඳසැල් සියල්ලම සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ උපදෙස් මත අද (29) සිට තාවකාලික වසා දැමීමට කටයුතු කළ බව බලන්ගොඩ නගරසභාවේ සභාපති චාමික ජයමිණි විම⁣ලසේන මහතා පවසයි.

    මාළු වෙළෙඳන් මගින් විශාල පිරිසකට කොරෝනා වයිරසය ව්‍යප්ත වීම මෙයට ප්‍රධානතම හේතුව බව සභාපතිවරයා පැවසීය.

    අහඔු ලෙස තෝරා ගත් බලන්ගොඩ නගරයේ මාළු වෙළෙන්දන් 10 දෙනෙකුගේ පී.සී.ආර්. පරීක්ෂණ බලන්ගොඩ මුලික රෝහලේ දි සිදුකළ බවත් එහි වාර්තා පස්වරුවේ ලැබීමට නියමිතව ඇති බවත්, බලන්ගොඩ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීහු පැවසූහ.

     

     

    කොරෝනා වසංගතයේ හදිසි අවස්ථා මතුවුවහොත් වැලිකඩ බන්ධනාගාර රෝහල ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස භාවිත කිරීමට බන්ධනාගාර, ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්තාපන රාජ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත.

    ඒ සමඟම අගුණකොළපැලැස්ස බන්ධනාගාර රෝහල හා දුම්බර බන්ධනාගාර රෝහල ද ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස සකස් කිරීමට අමාත්‍යංශයේ අවධානය යොමු වී ඇත.

    සියලුම නව රැඳවියන් බන්ධනාගාර වෙත යැවීමට පෙර පීසීආර් පරීක්ෂණ වලට භාජනය කළ යුතු බවට රාජ්‍ය අමාත්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය බන්ධනාගාර බලධාරීන්ට උපදෙස් දී තිබේ.

     

     

    කහතුඩුව කොණ්ඩා කපන ස්ථානයක හිමිකරුවකුට කොරොනා ආසාදනයවීම හේතුවෙන් එම ස්ථානයට මුද්‍රා තබා කොණ්ඩා කැපීමට පැමිණි 125දෙනෙකුට අධික පිරිසක් ගෘහස්ථ නිරෝධායනයට ලක්කිරීමට අද (29) පියවර ගත් බව කහතුඩුව මහජන සෞඛ්‍ය පරීක්ෂක අයි.කේ.එම්, ප්‍රභාත් මහතා පැවසීය.

    පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයෙන් මාළු මිලදී ගෙන කහතුඩුව ප්‍රදේශයේ මාළු ව්‍යාපාරයක් පවත්වාගෙන යන කොරෝනා ආසාදිත පුද්ගලයකු කොන්ඩය කැපීමට මෙම ස්ථානයට පැමිණීම හේතුවෙන් එහි කරණවෑමියාට රෝගය ආසාදනයවී ඇති බවට තහවුරුවී ඇතැයි, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වැඩිදුරටත් කීය.

    එම මාළු ව්‍යාපාරිකයාගේ පුත්‍රයාගේ විවාහ මංගල්‍යය ඉකුත් 23 වෙනිදා පැවැති අතර ඒ සඳහා 21 සහ 22 යන දිනවලදී එහි පැමිණ ඇතැයි පැවසේ. ඒ අනුව ඉකුත් 26 දා මාළු ව්‍යාපාරිකයා ආසාදනයවීමෙන් පසුව මෙම සැලූන් ආයතනයේ හිමිකරු ද 27 දා පී.සී.ආර් පරීක්ෂණයට ලක්කළ අතර එහි වාර්තාවට අනුව ඔහුට මෙලෙස රෝගය ආසාදනයවී ඇති බවට තහවුරුවී තිබේ.

     

     

    මෙරට ප්‍රමුඛපෙලේ සිසිල් බීම අයිස්ක්‍රීම් මස් ආශ්‍රිත නිෂ්පාදන සහ තවත් සැකසු අහර වර්ග නිෂ්පාදනය කරන මෙරට ප්‍රමුඛ පෙලේ සමාගමක සේවකයින් දෙදෙනෙකුට කොවිඩ් ආසාදිතවී ඇතැයි, වාර්තාවේ.

     

     

    මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සමාගමේ කොවිඩ් පොකුර නිර්මාණයවීම පිළිබඳව විමර්ශනය කරන කොළඹ අපරාධ කොට්ඨාශයේ නිළධාරීන් කිහිපදෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනයවී ඇත.

    පොලීසියේ වෙනත් විමර්ශන කණ්ඩායමක් පත්කර එම විමර්ශන සිදුකරන ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දී ඇත.

     

     

    නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් මේ වනවිට කොවිඩ් - 19 වෛරස ආසාදිතයින් 30කට අධික ප්‍රමාණයක් හඳුනාගෙන ඇති බව දිස්ත්‍රික් ලේකම් එම්.බී.ආර්. පුෂ්පකුමාර මහතා පවසයි.

    නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ එම ආසාදිතයින්ගේ ආශ්‍රිතයින්ගේ පී.සී.ආර්. පරීක්ෂණ තවදුරටත් සිදුකරමින් පවතින බවයි.

    එම පී.සී.ආර්. පරීක්ෂණ මගින් තවත් කොවිඩ් - 19 ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා විය හැකි අතර, දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව ද තවදුරටත් ඉහළයා හැකි බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් එම්.බී.ආර්. පුෂ්පකුමාර මහතා සඳහන් කරයි.

    මේ හේතුවෙන් විනෝද චාරිකා ලෙස නුවරඑළියට පැමිණීම ඉතා අවධානම් සහගත බව ඔහු වැඩිදුරටත් පෙන්වාදෙන්නේ.

     

     

    බණ්ඩාරගම ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් 23 දෙනෙකු අද (29) දින වනවිට වාර්තා වූ බව බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

    ඔවුන්ගෙන් බහුතරය මස්විල සහ බටහිර බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් වේ.

    බණ්ඩාරගම ප්‍රදේශයෙන් මාළු මිළදී ගැනීම සඳහා පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයට ගිය ව්‍යාපාරිකයින් සහ ඔවුන්ගේ සහයකයින් 54 දෙනෙකුගේ පී.සී.ආර්. සාම්පල පසුගිය 23 වැනි දින ලබා ගෙන ඇත.

    ඔවුන්ගෙන් 15 දෙනෙකුට කොවිඩ් - 19 වැළඳී ඇතැයි අනාවරණයවී තිබේ.

    තවත් මත්ස්‍ය ව්‍යාපාරිකයන්ගේ ආශ්‍රිතයන් 144 දෙනෙකුගේ පී.සී.ආර්. වාර්තා ලැබීමට නියමිත බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

     

     

     

    කොරෝනා වෛරසය ආසාදිත යැයි සැක සහිත රෝගියෙක් කළුතර නාගොඩ මහරෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද(28) අලුයම පලාගොස් තිබේ.

    එම රෝගියා පැය හතරකට පසු අද( 29) මහ වස්කඩුව ප්‍රදේශයේදී සොයා ගැනීමට හැකි වූ බව කළුතර උතුර පොලිසිය කියයි.

    මෙම පුද්ගලයා රෝගී තත්ත්වයක් හේතුවෙන් ඊයේ (28) නාගොඩ මහ රෝහලේ වාට්ටුවකට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර සිට ඇත.

    වයස අවුරුදු 38 වන එම පුද්ගලයා අද පෙරවරු 7.30 ට පමණ නාගොඩ රෝහලින් පලාවිත් මතුගම සිට කලුතර දක්වා ධාවනය වන බස් රථයකින් කළුතර නගරයට පැමිණ ඉන් අනතුරුව ගාල්ල සිට කොළඹ දක්වා ධාවනය වන බස් රථකින් වාඩියමංකඩ ප්‍රදේශයට පැමිණ නිවස කරා පාගමනින් යමින් සිටියදී ලද තොරතුරක් අනුව සොයා ගැනීමට හැකි වූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.

    Last modified on බ්‍රහස්පතින්දා, 29 ඔක්තෝබර් 2020 19:32

    Latest News