FCID විමර්ශනවලට දේශපාලනඥයින්ගෙන් බලපෑම් එල්ලවුණා; රවි වෛද්‍යලංකාර

ඔක් 28, 2020

    යහපාලන ආණ්ඩු සමයේ දී පිහිටවනු ලැබූ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් සිදුකරනු ලැබූ විමර්ශනවලට එවකට සිටි ප්‍රධාන පෙළේ දේශපාලනඥයින්ගෙන් බලපෑම් එල්ල වූ බව එහි ප්‍රධානියා ලෙස කටයුතු කළ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි වෛද්‍යලංකාර මහතා අද ප්‍රකාශ කළා.

    ඒ දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබාදෙමින්. රාජපක්‍ෂවරුන්ට එරෙහිව සිදු කරනු ලැබූ විමර්ශනවලට අදාළව ඔවුන් අත්අඩංගුවට ගැනීමට තමාට බලපෑම් කළ ප්‍රබලයින්ගේ නම් ඇතුළත් ලිපියක් වෛද්‍යලංකාර මහතා කොමිෂන් සභාවට ලබා දුන්නා.

    හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර මහතා වගඋත්තරකරුවකු කරමින් ඉදිරිපත්ව තිබූ පැමිණිලි කිහිපයකට අදාළව ඒ මහතා කොමිසම හමුවේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු ලබා දුන්නා.

    අදාල ලේඛනයෙහි නම් සඳහන් පිරිස් සන්නාහ සන්නද්ධව හැසිරෙමින් සිටින බවත් ඒ පිළිබඳව අනාවරණය කළහොත් තමාට ජීවිත තර්ජන ඇතිවිය හැකි බවත් රවී වෛද්‍යාලංකාර මහතා කොමිසම හමුවේ ප්‍රකාශ කළා.

    පොලිස් ආඥා පනත යටතේ පිහිටවනු ලැබූ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය සියලුම විමර්ශන සිදු කළේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ කාර්ය පටිපාටියට අනුව නීත්‍යානුකුල රාමුවක සිට බවයි හිටපු නියෝජ්‍ය පොලිස්පති වරයා සඳහන් කළේ.

    දැන් මේ කොට්ඨාශයට වැඩිපුර පැමිණිලි ලැබුණේ කොහෙන්ද? වෛද්‍යාලංකාර මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා ප්‍රශ්න කලා.

    "ස්වාමීනි, මුලින්ම දූෂණ විරෝධී කමිටු කාර්යාලයෙන් පැමිණිලි කිහිපයක් ලැබුණා. බාහිර පාර්ශවයන් ගැන පැමිණිලි ලැබුණා. එම පැමිණිලි සියල්ලම පොලිස්පතිවරයාට යොමු කළා. ඒ අනුමැතියට යටත්ව තමයි විමර්ශන කළේ. පොලිස්පති එම පැමිණිලි පරික්ෂා කරලා සීඅයිඩී යටද, සීසීඩීයටද, එෆ්සීඅයිඩීයටද දෙන්නෙ කියලා තීරණය කළේ එතුමා."

    මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ සිටියදී තමන්ට සිදු වූ අසාධාරණකම් සමාජගත කිරිමට අවශ්‍ය වූ බවත් විශ්‍රාම යාමෙන් අනතුරුව ඒ පිළිබඳව මාධ්‍යයට අනාවරණය කළේ තමාගේ ප්‍රතිරූපය සහ ගෞරවය රැකගැනීම උදෙසා බවත් ‍රවී වෛද්‍යලංකාර මහතා කොමිසම හමුවේ කියා සිටියා.

    2019 වර්ෂයේදී පුවත්පතකට ලබා දුන් සාකච්ඡාවක සතියකට වරක් හෝ රාජපක්ෂවරයෙක් අත්අඩංගුවට ගත යුතු බවට අමාත්‍යවරයෙක් ප්‍රකාශ කළ බව රවී වෛද්‍යාලංකාර මහතා සඳහන් කර තිබුණා.

    සභාපති විනිසුරුවරයා විමසා සිටියේ ප්‍රතිරූපය රැක ගැනීමේ අවශ්‍යතාව මතු වුණේ විශ්‍රාම ගිය පසුව නේද යනුවෙන්.

    පොලිස් සේවයේ යෙදී සිටි සමයේ නීතිමය වශයෙන් තමාට එවැනි අනාවරණයක් සිදුකළ නොහැකි වූ බවයි ඔහු කියා සිටියේ.

    වෛද්‍යලංකාර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ එවකට ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නට සිටි ගෝඨාභය රාජපක්ෂ මහතාට සිදුවන අසාධාරණය පිළිබඳව නිහඬව සිටීම සුදුසු නොවන බව තමන්ට වැටහී ගිය බවයි. එම නිසා සාක්ෂි නොමැතිව එතුමාව අත්අඩංගුවට ගැනීමට තමා කටයුතු නොකළ බව ද වෛද්‍යලංකාර මහතා සඳහන් කළා.

    එෆ්සීඅයිඩීයේ කටයුතු කරමින් සිටියදී තමා දැඩි මානසික පීඩනයකට හා දේශපාලන බලපෑමකට ලක් වූ බවත් තමා මුහුණ දුන් ඉරණම කිසිදු රාජ්‍ය සේවකයෙකුට අත් නොවිය යුතු බවද ඔහු කියා සිටියා.

    හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ වීඩියෝ පටයක් කොමිසම හමුවේ වාදනය කළ අතර නිලමේවරයෙකු අත්අඩංගුවට නොගන්නා ලෙස එෆ්සීඅයිඩියේ ප්‍රධානියාට දැනුම් දී ඇති බවට පූජිත ජයසුන්දර මහතා දුරකථන ඔස්සේ තවත් අයකුට පවසන ආකාරය එහි දැක්වෙනවා.

    සභාපති විනිසුරු විමසා සිටියේ ඒ අනුව තමන් නිලමෙට මොකද කළේ යනුවෙන්.

    "අත්අඩංගුවට ගත්තේ නැහැ" යනුවෙන් වෛද්‍යාලංකාර මහතා පිළිතුරු දුන්නා.

    "අත්අඩංගුවට ගන්න එපා කියපු අය ගත්තෙ නැහැ, වගේම අත්අඩංගුවට ගන්න කියපු අයත් අත්අඩංගුවට ගන්න ඇති නේද?" යනුවෙන් සභාපති විනිසුරුවරයා ප්‍රශ්න කළ අතර,

    වෛද්‍යාලංකාර මහතා පිළිතුරු දුන්නේ, "ප්‍රශ්නගත තත්ත්වයන් නිසා නීතිපති ගෙන් අහලයි අත්අඩංගුවට ගත්තෙ."යනුවෙන්.

    අරලියගහ මන්දිරයේ පවත්වන ලද රාජිත සේනාරත්න, සරත් ෆොන්සේකා, චම්පික රණවක, මලික් සමරවික්‍රම, සහ අනුර කුමාර සහභාගී වූ රැස්වීම් සඳහා තමා ද සහභාගි වූ බවත් සාක්ෂිකරු පිළිගත්තා.

    රවි වෛද්‍යලංකාර මහතාගේ සාකච්ඡාවක් ඇතුළත් රූපවාහිනී නාලිකාවක විකාශනය වූ තවත් වීඩියෝ පටයක් කොමිසම හමුවේ වාදනය කෙරුණු අතර එහිදී රවී වෛද්‍යලංකාර මහතා ප්‍රකාශ කළේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් විභාග කරනු ලැබුවේ දූෂණ විරෝධී කමිටු ලේකම් කාර්යාලය හරහා ලැබෙන පැමිණිලි පමණක් බවයි. පසුව වෛද්‍යාලංකාර මහතා සඳහන් කළේ එම සාකච්ඡාවේදී වරදක් සිදු වූ බවත් වෙනත් ආකාරවලින් ලැබෙන පැමිණිලි ද විභාගයට ගත් බවයි.

    එවිට සභාපති විනිසුරුවරයා ප්‍රශ්න කළේ "ඔබ එදා මාධ්‍යයට කියපු දේ ද අසත්‍යය අද කියන දේ ද?" යනුවෙන්.

    දිවුරුමක් යටතේ අද කොමිෂන් සභාව හමුවේ කියන දේ සත්‍ය බව වෛද්‍යාලංකාර මහතා පිළිතුරු දුන්නා.

    වෛද්‍ය නිහාල් ජයතිලක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් සෙනරත් ජයසුන්දර මහතා වගඋත්තරකරු ගෙන් ප්‍රශ්න කර සිටියේ සිදු කළ විමර්ශන සම්බන්ධයෙන් දේශපාලන කණ්ඩායම් ඉදිරියේ කරුණු පැහැදිලි කර තිබෙනවාද යන්නයි. වෛද්‍යලංකාර මහතා ප්‍රථමයෙන් එය ප්‍රතික්ෂේප කළ අතර ලේඛන පෙන්වමින් දිගින් දිගටම ප්‍රශ්න කිරීමේදී ඔහු සඳහන් කර සිටියේ දිවි නැගුම විමර්ශනයේ ප්‍රගතිය සම්බන්ධයෙන් දූෂණ විරෝධී කමිටුව හමුවේ යම් අදහස් පළ කිරීමක් සිදුකළ බවයි. ඒ පිළිබඳව ලේඛන වලින් තහවුරු වන බව නීතිඥවරයා කොමිසම හමුවේ අනාවරණය කළා.

    මිග් යානා ගනුදෙනු සම්බන්ධයෙන් කළ විමර්ශනයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂගේ සම්බන්ධයක් නොමැති බවට අනාවරණය වූ බවත් එබැවින් තමා මාධ්‍යයට ඒ පිළිබඳව කරුණු ඉදිරිපත් කළ බවත් රවී වෛද්‍යලංකාර මහතා සඳහන් කළා.

    කොමිසමේ සභාපති විනිසුරුවරයා විමසුවේ කොමිෂන් සභාවට ඉදිරිපත් වෙලා තියෙන සාක්ෂිවලින් එෆ්සීඅයිඩී එකෙන් කරපු හැම පරීක්ෂණයක ම වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම සඳහන් කරන ලෙස පැමිණිලිකරුවන්ට බලපෑම් කර ඇති බවට කොමිසම හමුවේ කරුණු අනාවරණය වී ඇති බවයි.

    "ප්‍රතික්ෂේප කරනවා එහෙම කිසිම බලපෑමක් අපි කරල නැහැ." යනුවෙන් රවී වෛද්‍යාලංකාර මහතා පිළිතුරු දුන්නා. මේ අතර කොමිසම හමුවේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතා ප්‍රකාශ කළේ බැසිල් රාජපක්ෂ මහතා ඉලක්ක කරගනිමින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිළධාරීන් තමාගෙන් ප්‍රශ්න කළ බවයි.

    එෆ්සීඅයිඩී නිලධාරීන් පක්ෂග්‍රාහීව කටයුතු කළ බවත් 2015 අප්‍රේල් 22 දින තමන් අත්අඩංගුවට ගත් බවත් වෛද්‍ය නිහාල් ජයතිලක මහතා කොමිසම හමුවේ වැඩිදුරටත් සඳහන් කළා.

    Latest News