ශ්‍රී ලංකාවේ ආයෝජනයට කොරියානු ව්‍යාපාරිකයන්ට ආරාධනා කරනවා; කොරියානු තානාපති

ඔක් 24, 2020

    ආරක්‍ෂිත රටක් වන ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට කොරියානු ව්‍යාපාරිකයන්ට ආරාධනා කරන බව, ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති වුන්ජින් ජියොන්ග් මහතා පවසයි.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ අරලියගහ මන්දිරයේ ඊයේ පැවති සාකච්ජාවකදී තානාපතිවරයා මේ බව කියා සිටියේය.

    දශක කිහිපයකට පෙර කොරියාව මෙරට විශාලතම ආයෝජකයෙක්. කොරියානු සමාගම් 115කට වැඩි ප්‍රමාණයක් මෙරට තුළ ක්‍රියාත්මක අතර දෙරට අතර සමස්ත වෙළෙඳාම පසුගිය වසරේදී අමෙරිකානු ඩොලර් මිලියන 327 ඉක්මවා තිබේ.

    මෙය තවදුරටත් ඉහළ නැංවීම කෙරෙහි සාකච්ජාවේදී අවදානය යොමු කෙරිණ. පසුගිය මහ මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ලැබූ ජයග්‍රහණය පිළිබඳ සුබපැතුම් එක් කළ තානාපතිවරයා එම ජනවරමට හේතු වූයේ, විශ්වාසනීය බැඳීම බව, කියා සිටියේය.

    කොවිඩ් 19 රෝගය පාලනයට රජය ගත් ක්‍රියාමාර්ග අගය කළ තානාපතිවරයා මෙරටට නිරන්තරයෙන් සහය දීමට ද එකඟවිය. දෙරට අතර ද්විපාර්ශවීය සහයෝගීතාව වර්ධනය කරගත හැකි අපනයන, සංචාරක, සංක්‍රමණික සහ එෆ්ඩීඅයි සේවකයන් පිළිබඳව ද සාකච්ජා කෙරිණ. කොරියානු අග්‍රාමාත්‍ය චුන්ග් සයි-කියුන් මැතිතුමා සමඟ කළ දුරකතන ඇමතුම සිහිපත් කළ මහින්ද රාජපක්‍ෂ මැතිතුමා කොරියානු අග්‍රාමාත්‍යවරයාට ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ සංචාරය කරන ලෙස කළ ආරාධනය තානාපතිවරයා වෙත නැවත සිහිපත් කළේය.

    කොරියානු අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවට පැමිණිමට උනන්දුවක් දක්වන බව සඳහන් කළ තානාපති ජියොන්ග් මහතා “අපි සැමවිට සමීප මිතුරන් යැයි“ ද කියා සිටියේය.

    Latest News