20; “ද්විත්ව පුරවැසි භාවය“ ඉවත් කිරීමට පක්‍ෂව ඡන්ද 157ක්

ඔක් 23, 2020

    20 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සංශෝධන සහිතව තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් ඊයේ සම්මත විය.

    ඊට පක්‍ෂව ඡන්ද 156ක් ලැබුණු අතර, විපක්‍ෂව ලැබුණේ ඡන්ද 65ක් පමණි. කාරක සභා අවස්ථාවේදී “ද්විත්ව පුරවැසි භාවය“ සම්බන්ධ බාධකය ඉවත් කිරීම පිළිබඳ වගන්තියට වෙනම ඡන්ද විමසීමක් සිදු කෙරිණ. ඊට පක්‍ෂව ඡන්ද 157ක් ලැබීම විශේෂත්වයක්.

    20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය පුරා දින දෙකක් පාර්ලිමේන්තුවේදී පැවැත්විණ. එහි දෙවැනි වර කියැවීමේ විවාදය ආරම්භ කරනු ලැබුවේ, අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා විසින්. විවාදය අවසන් වුවද ඔහුගේ පිළිතුරු කතාවෙන් අනතුරුව, පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම සිදු කෙරිණ.

    ඡන්ද විමසීමේදී සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය සහ තවත් විපක්‍ෂ මන්ත්‍රීවරුන් 7 දෙනෙක් පනත් කෙටුම්පතට පක්‍ෂව ඡන්දය ප්‍රකාශ කළේය. ඒ, ඉෂාක් රහුමාන්, නසීර් අහමඩ්, එම්.එස්. තවුෆික්, අරවින්ද් කුමාර්, ෆයිසාල් කාසිම්, අලි සබ්‍රි රහීම්, මොහොමඩ් හාරිස් යන මන්ත්‍රීවරුන්.

    හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඡන්දය විමසන අවස්ථාවේ සභා ගැබේ රැඳී නොසිටියේය. පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්‍ෂ මහතා ද 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට පක්‍ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට එක්විය.

    දෙවැනි වර කියැවීමේ ඡන්ද විමසීමෙන් පසු ආරම්භ කෙරුණේ, කාරක සභා අවස්ථාවයි. පනත් කෙටුම්පතට ආණ්ඩු පක්‍ෂය වෙනුවෙන් සංශෝධන කිහිපයක් ඉදිරිපත් කළේ, අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතායි.

    එම සංශෝධන සියල්ලට අනුමැතිය හිමිවිය. විපක්‍ෂය වෙනුවෙන්, විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ලක්‍ෂමන් කිරිඇල්ල මහතා සංශෝධන 56ක් ඉදිරිපත් කළ අතර, ඊට සභාවේ අනුමැතිය හිමි නොවීය.

    කාරක සභා අවස්ථාවේ තවත් විශේෂ සිදුවීමක් වූයේ, ද්විත්ව පුරවැසි බාධකය ඉවත් කිරීමට අදාළ වගන්තිය පිළිබඳ විපක්‍ෂය ඡන්ද විමසීමක් ඉල්ලා සිටියේය.

    ඒ අනුව, කාරක සභා අවස්ථාවේ ඒ සඳහා ඡන්ද විමසීමක් පැවැත්විණ. ද්විත්ව පුරවැසිභාවය ඉවත් කිරීමට අදාළ වගන්තියට ඡන්ද 157ක් ලැබීම විශේෂත්වයක්.

    20 වැනි සංශෝධනයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කළ දිගාමඩුල්ල දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ මන්ත්‍රී මුශ්‍රාෆ් මුතුනබීන් මහතා, ද්විත්ව පුරවැසි භාවය සඳහා පක්‍ෂව ඡන්දය ප්‍රකාශ කළේය.

    කාරක සභා අවස්ථාවෙන් අනතුරුව නැවත ඡන්ද විමසීමක් පැවති අතර, එහිදී ද සංශෝධන සහිතව 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට පක්‍ෂව ඡන්ද 156ක් හිමිවිය.

    20 වැනි සංශෝධනයට අදාළ මීළඟ පියවර වන්නේ, කාරක සභා අවස්ථාවේ සිදුකරන ලද සංශෝධන ඇතුළත්ව එය සහතික කිරීම සඳහා නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමයි.

    ඉන් අනතුරුව, ගැසට් නිවේදනය පළ කෙරෙන්නේ කතානායකවරයාගේ අත්සන යෙදීමෙන් පසුවයි. එය පනතක් බවට පත් වන්නේ ඉන් අනතුරුවයි. පාර්ලිමේන්තු විවාදය අවසන් වීමෙන් පසු පක්‍ෂ-විපක්‍ෂ ජනතා නියෝජිතයන් අදහස් පළ කළේය.

    Latest News