සම්පත් දයානන්ද මහතාගේ පැමිණිල්ල විභාගයට

ඔක් 23, 2020

    පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා සමඟ පැවැත්වූ හඬ පටයේ අන්තර්ගතය තුළින් එකිනෙකාට උදව් කිරීම වෙනුවෙන් තුටුපඬුරු හුවමාරු කරගෙන ඇති බව පෙනී යන්නේ යැයි දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා අද ප්‍රකාශ කළා.

    ඒ නාවික හමුදා බුද්ධි අංශයේ කමාන්ඩර් සම්පත් දයානන්ද මහතාගේ පැමිණිල්ල විභාගයට ගත් අවස්ථාවේදී.

    2009 වසරේදී වඩිවෙල් පක්ලිසාමි සහ රත්නසාමි පරමානන්දන් යන අය පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව විමර්ශන කළ සී.අයි.ඩී නිලධාරින් තමා ඇතුළු බුද්ධි අංශ නිලධාරීන්ට එරෙහිව අසත්‍ය චෝදනා ගොනූ කර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ බව නාවික හමුදා බුද්ධි අංශයේ කමාන්ඩර් සම්පත් දයානන්ද මහතා කොමිසමට පැමිණිලි කර තිබෙනවා.

    පැමිණිල්ලට අදාළව වගඋත්තරකරුවෙකු ලෙස නම්කර ඇති හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අද ජනපති කොමිසම හමුවේ පෙනී නොසිටි අතර ඇය වෙනුවෙන් නීතිඥවරයකු කොමිසම හමුවේ පෙනී සිටියා . හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ජනපති කොමිසම හමුවේ සාක්ෂි ලබා නොදෙන බව ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කොමිසමට වැඩිදුරටත් ප්‍රකාශ කළා .

    කමාන්ඩර් සම්පත් දයානන්ද මහතාගෙන් අදාල හඬපටයේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ නිශාන්ත සිල්වා අතර ඇති වූ සංවාදය සම්බන්ධව අද කොමිසම හමුවේ හරස් ප්‍රශ්න විමසීමක් සිදු කළා.

    යහපාලන රජය සමයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ශානි අබේසේකර ප්‍රමුඛ නිලධාරින් නඩු ගොනුවලට අදාල විමර්ශන වාර්තා, විභාග කරන නඩු ගොනු පිළිබඳව එවක දේශපාලනඥයින් සමග දුරකතන සංවාද පැවැත්වීම තුළින් අදාළ නඩු කටයුතු දේශපාලනඥයින්ට අවශ්‍ය ලෙස සිදුකර ඇති බවට හැඟී යන බව සාක්ෂි ලබාදෙමින් දයානන්ද මහතා කොමිසම හමුවේ ප්‍රකාශ කළා .

    පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිට මීගමුවට ස්ථාන මාරුවක් ලබාදීම සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පසුතැවිලි වන බවත් තමන්ට තම පියාගේ මරණය සම්බන්ධයෙන් නිශාන්ත සිල්වා උදව් කර ඇති බවත් හඬපටයේ අන්තර්ගත වී තිබෙනවා.

    මෙසේ නිශාන්ත සිල්වා සමඟ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පැවැත්වූ හඬ පටයේ අන්තර්ගත සංවාදයෙන් නිශාන්ත සිල්වා සමඟ සබඳතාවක් පැවැත්වීම මත ඇයව පැමිණිල්ලට අදාලව වගඋත්තරකරුවෙකු ලෙස නම් කර බව දයානන්ද මහතා කොමිසමට ප්‍රකාශ කළා .

    Latest News