CSN නාලිකාවේ විමර්ශන වලට අදාළව CID යේ අධ්‍යක්ෂකවරයාට නොතීසි

ඔක් 22, 2020

    සීඑස්එන් නාලිකාවේ විමර්ශන වලට අදාල සියලු ලිපි ගොනු කොමිෂන් සභාවට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයාට නොතීසි නිකුත් කරන්නැයි දේශපාලන පළිගැනීම පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සභාපතිවරයා අද නියෝග කළා. ඒ අග්‍රමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතා ජනාධිපති කොමිසමට කළ පැමිණිල්ලකට අදාලවයි. කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් ආයතනය හෙවත් සීඑස්එන් නාලිකාව ආරම්භ කිරීමේදී මූල්‍ය වංචා සහ රජයේ දේපල භාවිත කර ඇති බවට චෝදනා කරමින් යහපාලන ආණ්ඩු සමයේ දී තමා අත්අඩංගුවට ගෙන දින 45 ක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීම දේශපාලන බලපෑම් මත සිදු වූ බවට යෝෂිත රාජපක්ෂ මහතා කොමිසමට පැමිණිලි කර තිබෙනවා.

    යහපාලන ආණ්ඩුව බලයට පත් වූ විගස රාජපක්ෂවරුන්ගෙන් සංවිධානාත්මකව පලිගැනීමේ ක්‍රියාවලියක් ගෙන ගිය බවයි, යෝෂිත රාජපක්ෂ මහතා කොමිසම හමුවේ සඳහන් කළේ.

    2016 ජනවාරි 30 වැනි දින තමා නාවික හමුදා මූලස්ථානයට වාර්තා කිරීමෙන් පසුව තමාගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ පොලිස් නිලධාරීන් 18 ත් 20 ත් අතර පිරිසක් පැමිණ සිටි බව යෝෂිත රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

    කටඋත්තර ලබා දෙන අවස්ථාවේදී එම නිලධාරීන් පූර්ව නිගමනවල සිට තමාගෙන් ප්‍රශ්න කළ බව වැටහී ගිය බවත් ඔහු ප්‍රකාශ කළා.

    නමුත් ඔහු කොම්සම හමුවේ අවධාරණය කළේ සීඑස්එන් නාලිකාවට තමාගේ කිසිදු සම්බන්ධයක් නොතිබූ බවයි.

    තමාව උසාවියට ඉදිරිපත් කරන බව පොලිස් නිලධාරීන් පැවසූ අවස්ථාවේදී "උසාවිය වහලා නේදැ"යි තමා ඔවුන් ගෙන් විමසද්දී "උසාවිය ඇරලා හරි දාන්නම්" යනුවෙන් කලද හරි ඔහු ප්‍රකාශ කළ බව ද යෝෂිත රාජපක්ෂ මහතා කියා සිටියා.

    සවස හතට පමණ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට තමාව රැගෙන යද්දී අධිකරණ පරිශ්රයේ මාධ්‍යවේදීන් රැදී සිටි බවත් ඔහු කියා සිටියා.

    කඩුවෙල මහේස්ත්‍රාත්වරයාගේ නිල කාමරයට ඇතුළු වෙද්දී රොහාන් වැලිවිට, නිශාන්ත රණතුංග මහතා ඇතුළු සිව් දෙනෙකු එහි සිටි බවත් ඔහු සඳහන් කළා.

    රාජ්‍ය දේපල අවභාවිත කිරීම, මුදල් විශුද්ධිකරණය සහ සාපරාධී විශ්වාසය කඩකිරීම ආදී චෝදනා යටතේ තමාව බන්ධනාගාර ගතකිරීමට ක්‍රියා කළ බවයි, ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

    මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එෆ් සී අයි ඩී නිලධාරින් තමාට එරෙහි චෝදනා මහේස්ත්‍රාත්වරයා හමුවේ කියවූ බවත් එම අවස්ථාවේ නිල මැදිරියේ තිබූ දුරකථනයේ රිසිවරය පිටතින් තබා තිබූ අතර, එය එෆ්සීඅයිඩී නිලධාරින් වෙත හරවා තිබෙනවා තමන් දුටු බවත් යෝෂිත රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

    පසුව මහේස්ත්‍රාත්වරයා කාට හෝ දුරකතනයෙන් කතා කරන ආකාරය නිරීක්ෂණය වූ බවත් පසුව තමා ඇතුළු පිරිස සාක්ෂි කුටියෙන් පිටතට ගත්තේ ඉන් අනතුරුව බවත් ඔහු ප්‍රකාශ කළා.

    පැමිණිල්ලේ නීතීඥවරයා විමසා සිටියේ දුරකතනයෙ රිසිවරය ඉවත්කර තැබූ විට ඇසෙන ශබ්දය එම අවස්ථාවේ නෑසුනේ ද යන්නයි.

    එවිට නීතිඥවරයා යළි විමසා සිටියේ අදාළ දුරකථන ඇමතුම් පරීක්ෂා කිරීමෙන් තොරතුරු ලබා ගත හැකිද යන්නයි.

    පැමිණිල්ලේ ඉල්ලීම පරිදි කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ නිල දුරකථන අංකය එම අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය ගෙන් ලබාගැනීමට කොමිෂන් සභාව නියම කළා.

    ඒ අනුව 2015 ජනවාරි 30 දිනට අදාළ දුරකථන ඇමතුම් ඇතුළත් වාර්තාවක් ඉදිරිදිනට කැඳවීමට කොමිසම තීරණය කළා.

    යෝෂිත රාජපක්ෂ මහතා කොමිසම හමුවේ කියා සිටියේ තමා දින 45 ක් රක්ෂිත බන්ධනාගාර ගත කර තැබීමට කටයුතු කළ බවයි.

    මහෙස්ත්‍රාත්වරයාගේ නියෝගයේ 2016 පෙබරවාරි 11 වන දින තෙක් රිමාන්ඩ් ගත කරන බව සඳහන් කර තිබුණ ද ඇප ලබාදෙන බව සඳහන් කර නොතිබූ බවත් ඇප ලබා දෙන දිනය ලෙස දක්වා ඇත්තේ, පෙබරවාරී එකොළොස් වැනිදා බවත් නීතිඥවරයා කොමිසම හමුවේ ප්‍රකාශ කළා.

    මේ අතර, සීඑස්එන් නාලිකාවේ හිටපු අධ්‍යක්ෂ රොහාන් වැලිවිට මහතා ද අද කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නා.

    රාජිත සේනාරත්න හා පාඨලී චම්පික රණවක මහත්වරුන් ගේ මැදිහත් වීමෙන් සීඑස්එන් සම්බන්ධව විමර්ශන සහ අත්අඩංගුවට ගැනීමේ සිද්ධීන්, මාධ්‍ය ප්‍රචාරයක් ලබාදීමේ කටයුතු සිදු වූ බව රොහාන් වැලිවිට මහතා කොමිසම හමුවේ ප්‍රකාශ කළා.

    තමා ඇතුළු පිරිස සිරගත කර සතියක් ඇතුළත එවකට අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස කටයුතු කළ සාගල රත්නායක මහතා අග්‍රාමාත්‍ය ශීර්ෂය යටතේ නිවේදනයක් නිකුත් කළ බවත් එමගින් සීඑස්එන් කාර්ය මණ්ඩලය බන්ධනාගාරගත කිරීම සාධාරණීකරණය කර තිබූ බව ද ඔහු කොමිසම හමුවේ වැඩිදුරටත් ප්‍රකාශ කළා.

    Latest News