නිලන්ත ජයවර්ධනගෙන් පාස්කු කොමිසමට ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

ඔක් 19, 2020

    සහරාන් හෂීම් ඇතුළු බෝම්බකරුවන් සැලසුම් කර තිබූ ප්‍රහාරයට අදාළ බුද්ධි තොරතුර පිළිබඳව පසුගිය වසරේ අප්‍රේල් 11 වෙනිදා වනවිට 15,000කට ආසන්න පිරිසක් දැනුම්වත් සිටි බවට රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා අද ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළා.

    ඒ පාස්කු කොමිසමේ සාක්ෂි ලබාදෙමින්. එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ සහරාන් රටින් පිටකීරීමට රිෂාඩ් බදියුදීන්ගේ සහෝදරයා උදව් කිරීමේ සිද්ධිය දේශපාලනමය විමර්ශනයක් වන බවට තමන් එවකට කළ ප්‍රකාශය මේ වනවිට තහවුරු වී ඇති බවයි.

    පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා සාක්ෂි ලබාදීමට අද කැඳවා තිබුණේ 24 වෙනි දිනටයි.

    මෙහිදී අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥවරයාට නිලන්ත ජයවර්ධන මහතාගෙන් හරස් ප්‍රශ්න විමසීමේ අවස්ථාව හිමිවුණා.

    ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා - අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙනුවෙන් - " වව්නතිව් පොලිස් මාර්ග බාධකයේ සේවයේ සිටි පොලිස් නිලධාරින් දෙදෙනා ඝාතනය කිරීම, මාවනැල්ල බුදුපිළිම කැඬීම, වනාතවිල්ලුවේ පුපුරන ද්‍රව්‍ය සොයා ගැනීම සහ තස්ලීම් නමැත්තාට වෙඩි තැබීම කියන සිද්ධීන්වලට සහරාන් සම්බන්ධ බව රාජ්‍ය බුද්ධි සේවය දැන සිටියාද ?"

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන - හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ - "මාවනැල්ල බුදුපිළිම කැඬීම සහ වනාතවිල්ලුවේ පිටුපස සහරාන්ගේ සම්බන්ධයක් තිබෙන බව අපිට හෙළිවුණා. "

    ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා - අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙනුවෙන් - "ඒ සිද්ධි හතරම ත්‍රස්තවාදී ක්‍රියා නෙවෙයිද ඒ කියන්නේ ?"

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන - හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ - " ස්වාමීනි... ඒ සිද්ධීන් සියල්ලම විමර්ශනය කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව. අපි කළේ ඔවුන්ට සහයක් ලෙස තොරතුරු සොයා දීම පමණයි."

    ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා - අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙනුවෙන් - " ඔබ ආරක්ෂක කවුන්සිලයේදී සහරාන් ත්‍රස්තවාදියෙක් කියලා නොකිවූ බව මේ කොමිසමට සාක්ෂි ලෙස ලැබී ඇත්නම් එය සත්‍යයක් ද ?"

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන - හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ - "ත්‍රස්තවාදියෙක් කියන වචනය භාවිත නොකළාට තමන්ගේ අනුගාමිකයන්ව IS මතවාදය අනුව අභිප්‍රේරණය කරමින් සිටින බවට මම ආරක්ෂක කවුන්සිලයේ දැනුම්වත් කළා. වව්නතිව් පොලිස් නිලධාරින් මැරුවේ සහරාන්ගේ ගෝලයො කියලා විමර්ශනවලදී අනාවරණය කරගත්තා නම් විමර්ශකයන් කියන්න තිබුණා සහරාන් ත්‍රස්තවාදියෙක් කියලා."

    ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා - අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙනුවෙන් - " හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආරක්ෂක කවුන්සිලයේ සහරාන් වහාම අත්අඩංගුවට ගන්න කියලා නියෝගයක් කළාද ?"

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන - හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ - " සහරාන් හෂීම් නමින් කිව්වේ නැහැ අත්අඩංගුවට ගන්න කියලා. නමුත් මේ ගැන කතාකරන වෙලාවල 'ඇයි ඔය මිනිහව තාම එළියෙ තියන් ඉන්නේ' කියලානම් ඇහුවා."

    ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා - අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙනුවෙන් - " කටුවාපිටිය, නුවරඑළියේ ඒවගේම පානදුර වගේ ප්‍රදේශවල ආරක්ෂක නිවාස ගැන රාජ්‍ය බුද්ධි සේවයට තොරතුරු තිබුණාද ?"

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන - හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ - " නුවරඑළියේ බ්ලැක්පූල් එක ගැන නම් තොරතුරු තිබුණා. නමුත් අනිත් ඒවා නම් වාර්තා වුණේ නැහැ. මොකද ඒ අය මාස තුනක් හතරක් විතර එක තැනක ඉදලා මාරු වෙනවා."

    ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා - අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙනුවෙන් - "පාස්කු ප්‍රහාරයට පෙර සහරාන් ඇතුළු කණ්ඩායම පුහුණු කඳවුරු කීයක් පැවැත්වුවා කියලද රාජ්‍ය බුද්ධි සේවයට තොරතුරු තියෙන්නේ ?"

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන - හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ - " නුවරඑළියේ ආයුධ ගලවා සවි කිරීමේ පුහුණුවක් කළා කියන එක වාර්තා වුණා."

    ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා - අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙනුවෙන් - "මම යෝජනා කළොත්, සහරාන්ගෙ පුහුණු කඳවුරු 7ක් සහ වැඩමුළු මධ්‍යස්ථාන 2ක් පවත්වලා තිබුණා කියලා පිළිගන්නවාද ? පාස්කු ප්‍රහාරයට පෙර මේවා ගැන රාජ්‍ය බුද්ධි සේවය දැනගෙන හිටියාද ?"

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන - හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ - " කිසිම බුද්ධි සේවයක් දැනසිටියේ නැහැ. නුවරඑළිය ගැන විතරයි දැනසිටියේ. ඔය කියන නොම්මර ගැන දැනසිටියේ නැහැ."

    මෙහිදී වැඩිදුරටත් සාක්ෂි ලබාදෙමින් නිලන්ත ජයවර්ධන මහතා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළා.

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන - හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ - " අපි නිතරම කිව්වා සහරාන්ගේ නම. උදාහරණයක් ගන්නම්. සිමියොන් කියන පුද්ගලය අපරාධයක් කරන්න යනකොට සිමියොන් ගහන්න යන බැංකු තියෙනවා. ඒ මේ බැංකුව.. මේ බැංකුව කියන එකයි, සිමියොන් ළඟ තියෙන්නේ ගල්කටස් එකක්ද.. ටී56ක් ද කියන එකයි.. නෙවෙයි ඔලුවට ගන්න ඕනේ. සිමියොන්ව හොයාගෙන අත්අඩංගුවට ගන්න එකයි වැදගත්. ඒකයි අපි සහරාන් ඉන්න තැන්ගැන කියනකොට සහරාන්.. සහරාන්.. සහරාන්.. කියලා නම හැමතිස්සේම කිව්වේ. අපි ප්ලෑන් කළේ Master Mind Arrest කරන්න. ස්වාමීනි.. සහරාන් ගැන සහ මේ තොරතුර ගැන අප්‍රේල් 11 වෙනිදා වෙනකොට මේ රටේ 10,000ක් විතර දැනගෙන හිටියා."

    ජනාධිපති කොමිසමේ අභියාචනාධිකරණ විනිසුරු - " ඔබ බොහොම බරපතළ ප්‍රකාශයක් කළා අප්‍රේල් 11 වෙනකොට මේ ගැන 10,000ක් විතර දෙනා දැනගෙන හිටියා කියලා. වගකීමෙන් ද ඒක කිව්වේ ?"

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන - හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ - " ඔව් ස්වාමීනි. පොලිස්පති මේ කොමිසමේදි කිව්වා ඔහු මේ බුද්ධි තොරතුර රේන්ජ් හතරකට දුන්නා කියලා. එතනම බස්නාහිර පළාතේ නිලධාරින් 8,000ක් විතර ඉන්නවා. STF එකේ 5,000කට මෙහා ඉන්නවා. ඊළඟට ස්වාමීනි 20 වෙනිදා තානාපති කාර්‍යාලවලින් දැනගෙන හිටියා. මොකද මගෙන් ඇහුවා මේ තොරතුරට සම්බන්ධ එක තානාපති කාර්‍ය්ලයක් 'මේ අපි එවපු එක නේද share වෙන්නේ' කියලා. ඉතින් ස්වාමීනි එතකොට කීයක්ද.. සහරානුත් දැනගෙන්න ඉන්න ඇති. අර පාර්ලිමේන්තුවෙ 225 දෙනාට යොමුකරලා තිබුණා. ඒගොල්ලන් නම් කියනවනේ දන්නැ කියලා. නමුත් ඒ අයගේ ආරක්ෂක අංශ දැනගෙන හිටියා. මෙහෙම බැලුවම 10,000ක් නෙවෙයි 15,000ක් විතර මේක දැනගෙන හිටියේ ස්වාමීනි. එතකොට ඒ අය දැනගෙන ලංකාවෙ තීරණ ගන්න ඕනේ සියලු දෙනා දන්නැ... ඕකනේ දැන් කියන්නේ.. මේ රටේ මිනිස්සු මැරුණ එකේ මං වගකීම භාර ගන්නේ අප්‍රේල් 07 වෙනිදා වෙනකල් විතරයි. ඔය විදෙස් බුද්ධි සේවයට සහරාන් ගැන ඔක්කොම තොරතුරු දුන්නෙත් අපි. මටත් වඩා මේ අය ගැන මගේ නිලධාරින් තොරතුරු රැස්කරපු නිසා මම මගේ නිලධාරින් ගෙන්නලා විදෙස් බුද්ධි සේවා දැනුම්වත් කළා. රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ වුණ මම එතනදී translator වුණා. මේ රටේ වෙලා තියෙන්නේ විදෙස් රටකින් ආවොත් ඒක ලොකුයි. අපි කිව්වොත් පොඩියි. අනික අපි සහරාන් ගැන කියලා තිබුණේ 2016 ඉදලා. මට තොරතුරු ලැබුණේ ප්‍රහාරය ගැන අප්‍රේල් 4. මං ඒක 5 වෙනිදා ලිඛිතව ගෙන්න ගත්තා. 6 වෙනිදා මම හිතුවා ඉස්සරහට එන අලුත් අවුරුදු කාලය එක්ක මේක මං ළඟ විතරක් තියන් ඉදලා හරියන්නැහැ කියලා. ඒ නිසා ජාතික බුද්ධි ප්‍රධානියාට හා පොලිස්පතිට දැනුම් දුන්නා අප්‍රේල් 7 වෙනිදා. 8 වෙනිදා මට ජාතික බුද්ධි ප්‍රධානිගෙන් වාර්තාවක් ලැබුණා. එතනදි මං කිව්වා මේක political inquiry එකක් වෙයි කියලා. අද වෙනකොට අවුරුදු එකහමාරක් ගිහින් ඒක හරි ගිහින් තියෙනවා. ඒ තමයි රිෂාඩ් බදියුදීන්ගේ මල්ලි එක්ක සහරාන් ගියා කියන එක. ජාතික බුද්ධි ප්‍රධානියා එතකොට කිව්වා මේක ආරක්ෂක ලේකම්ට කියන්නම් කියලා. මෙතන කොමිසමට ඇවිත් ඔහු කියනවා අප්‍රේල් 9 රැස්වීමේදි නිලන්ත මේක කතාකරයි කියලා හිතන් හිටියලු. ස්වාමීනි මට පරචිත්තවිඥාණය නැහැනෙ එහෙම හිතන් හිටියට. 9 වෙනිදා රැස්වීමෙදි මම ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස් මහතාගෙන් ඇහුවා ' සර් ඕක තාම අතේ තියන් ඉන්නවද.. ඕක ලෙඩක්නෙ' කියලා. මම දන්නැ මේ ගැන ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් ගත් පියවර මොනවාද කියලා.ස්වාමීනි මම තොරතුරු දීලා මම ලෙඩේට බෙහෙත් හොයන්න ගත්තා. මේ අය ඒ ඔක්කොම අමතක කරලා වැඩේ වැරදුනාම මගේ ඇඟට දානවා. "

    ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා - අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙනුවෙන් - " ඔබ මේකෙන් අත හෝද ගන්නවා.. එහෙම නේද නිලන්ත මහත්තයා..?"

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන - හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ - " මං ඒක ප්‍රතික්ෂේප කරනවා. මං කණගාටු වෙනවා මගෙන් එහෙම දෙයක් අහන එකට."

    ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා - අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙනුවෙන් - " ඔබ නොයෙක් අවස්ථාවල කිව්වා මේ ප්‍රහාරයට වගකීම භාර ගන්නෑ කියලා... එහෙම නේද ?"

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන - හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ - " මගේ වගකීම මේ කොමිසම තීරණය කරයි. මම කළ රාජකාරිය මම දන්නවා. මම කාටවත් ඇඟිල්ල දික් කරන්නෙ නැහැ. මං මේ දවස් ගාණක් දුන්න සාක්ෂි ඇත්ත. මම රස්සාවෙ ඉන්නවද හිරේ යනවද කියන එක කොමිසම තීරණය කරයි. මම අතහෝද ගන්නේ නැහැ. 2015 මාර්තු 03 ඉදලා 2019 දෙසැම්බර් 05 වෙනකල් මම රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස කරපු දේවල් කිසිම බුද්ධි අංශයක් කළේ නැහැ. අප්‍රේල් 21න් පස්සේ ආපු කොළවලට ගත්ත actions අප්‍රේල් 9 වෙනිදා ගත්තනම්.. ඒ attitude ඊට කලින් තිබ්බ නම් ඒ වෙනස බලන්න පුලුවන් කොමිසමට. අන්න එහෙනම් turnnig point එක අප්‍රේල් 21. මෙතන වුණේ intelligence හොයා ගත්තම ඒගොල්ලන්ගේ. පිපුරුණාම අපේ.. එච්චරයි ස්වාමීනි "

    Latest News