සිල් රෙදි නඩු තීන්දුවට එරෙහි අභියාචනා විභාගය ලබන 6

සැප් 30, 2020

    සිල් රෙදි නඩුවෙන් වරදකරු කෙරුණු හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන මහත්වරු ඉදිරිපත් අභියාචනා පිළිබඳ වැඩිදුර විභාගය ලබන 6 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා.

    මෙම අභියාචනා අද කුමුදුනී වික්‍රමසිංහ සහ දේවිකා අබේරත්න යන මහත්මීන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැදවනු ලැබුවා.

    එහිදී අභියාචනා ඉදිරිපත් කළ ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන මහත්වරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු සිය දේශන ඉදිරිපත් කිරීම අවසන් කළා.

    අනතුරුව අභියාචනා පෙත්සම ලබන 6 වනදා කැඳවීමට නියම කළ අධිකරණය එදින නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් තුසිත් මුදලිගේ මහතාගේ දේශන ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

    2015 වසරේ ජනාධිපතිවරණය පැවති සමයේ විදුලි සන්දේශ නියාමන කොමිසමට අයත් රුපියල් මිලියන 600 කට ආසන්න මුදලක් වැය කර දිවයින පුරා පිහිටි විහාරස්ථානවලට සිල් රෙදි බෙදා හැරීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන මහත්වරුන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ඉකුත් යහපාලන රජය සමයේ මෙම නඩුව පවරා තිබුණා.

    එම චෝදනාවලට වරදකරු කළ ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන මහත්වරුන්ට 2017 වසරේ සැප්තැම්බර් මස 07 වනදා බරපතල වැඩ සහිතව වසර තුනක සිර දඬුවම් හා දඩ මුදල් ද කොළඹ මහාධිකරණය මගින් නියම කරනු ලැබුවා.

    තමන්ට දඬුවම් නියම කර ඇති ආකාරයෙන් නීතියට පටහැනි බවත් තමන්ව සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කර ලෙස ඉල්ලමින් ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන මහත්වරු අභියාචනාධිකරණය හමුවේ මෙම නඩුව ගොණුකර තිබෙනවා.

    Latest News