නාකොටික් නිළධාරීන් 13 දෙනා යළි රිමාන්ඩ්

සැප් 22, 2020

    පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගනු ලබන හෙරොයින් මත්කුඩු තොග ජාවාරම් කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින එම කාර්යාංශයේ නිලධාරින් 13 දෙනා තවදුරටත් ලබන 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාර් මහතා අද නියෝග කළේය.

    මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා ගෙන සිටින සැකකරුවන් 13 දෙනා අධිකරණයට ඉදිරිපත් කර නොතිබිණ.

    විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා මෙම සැකකරුවන් සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ද විමර්ශනයක් සිදු කෙරෙන බවත් ඒ යටතේ දැනට රිමාන්ඩ් භාරයේ පසුවන සැකකාර මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 11 දෙනෙක්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අවශ්‍ය වී තිබෙන බවත් දන්වා සිටියේය.

    ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමකට එම සැකකරුවන් රඳවා සිටින අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට ගොස් ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා අවසර දෙන ලෙස එම බන්ධනාගාරයේ අධිකාරිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙසයි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

    එම ඉල්ලීමට අවසර දුන් මහේස්ත්‍රාත්වරයා අදාළ සැකකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අවසර දෙන ලෙස අදාළ බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේය.

    තව දුරටත් කරුණු දැක්වූ රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා මෙම නඩුවේ සැකකරුවකු ලෙස නම් කර සිටින පොලිස් පරීක්ෂක ලයනල් ජයරත්න නැමැත්තා තමන් විසින් මුදල් හා දේපළ අත්පත් කර ගනු ලැබුවේ ගම්මිරිස් වගාවකින් බවත් එම ගම්මිරිස් වගාවෙන් තමන්ට මාසිකව රුපියල් එක්ලක්ෂ පනස් දහසක මුදලක් හිමි වන බවට සිය ප්‍රකාශය තුළින් සඳහන් කර තිබූ බවත් පැවසීය.

    එහෙත් මේ සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයකදී අදාළ සැකකරු ගම්මිරිස් වගාවේ නිරත වී නොමැති බවට කරුණු අනාවරණය වී ඇතැයිද රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් වරයා සඳහන් කළේය.

    මෙම මත්ද්‍රව්‍ය ජාවාරම් සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පොලිසිය භාරයේ රඳවා සිටින වාහනයක් මුදාහරිණ ලෙස එම වාහනයේ හිමිකරු සිය නීතිඥවරයා මාර්ගයෙන් අධිකරණය වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර තිබිණ.

    එම ඉල්ලීමට විරෝධය පළ කර සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා අදාළ වාහනය මඟින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කර තිබෙන බවට කරුණු අනාවරණය වී තිබෙන බවත් එම වාහනයේ සවිකර තිබූ ජී.පී.එස් යන්ත්‍රයේ සටහන් වී ඇති දත්ත ඔස්සේ ඒ බව අනාවරණය වී ඇති බවත් පැවසීය.

    එම වාහනය සම්බන්ධයෙන් රජයේ රස පරික්ෂණ දෙපාර්තමේන්තුව මාර්ගයෙන් විශේෂ පරීක්ෂණයක් සිදුකරන හෙයින් එම වාහනය මුදාහැරීම සම්බන්ධයෙන් තමන් විරුද්ධ වන බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කර සිටියේය.

    මත්ද්‍රව්‍ය පනත යටතේ මෙම සැකකරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම පැමිණිල්ල ගොනුකර ඇති ආකාරය නීතිවිරෝධී බව සඳහන් කරමින් විත්තියේ නීතිඥවරු විසින් මීට පෙර අධිකරණය හමුවේ ලිඛිත දේශන ඉදිරිපත් කර තිබිණ.

    එම ලිඛිත දේශන වලට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පිළිතුරු ලිඛිත දේශන අද නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පිරිස් මහතා විසින් අධිකරණයට ඉදිරිපත් කළේය.

    දෙපාර්ශවය ඉදිරිපත් කළ ලිඛිත දේශන සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම කරුණට අදාලා නියෝගය ප්‍රකාශයට පත් කරන දිනය ලබන 28 වැනිදා දැනුම් දෙන බවයි විවෘත අධිකරණයේ ප්‍රකාශ කළේ.

    Latest News