මහා පරිමාණ හෙරොයින් ජාවාරම්කරුවකු නිදොස් කොට නිදහස්

සැප් 15, 2020

    හෙරොයින් මත්ද්‍රව්‍ය වැටලීම් සිදුකරන නිලධාරීන් අතින් ඇතැම් අවස්ථාවල සිදුවන නොසැලකිලිමත් කටයුතු සහ ඔවුන් අතින් සිදුවන දෝෂයන් හේතුවෙන් මහා පරිමාණ හෙරොයින් ජාවාරම්කරුවන් නිදහස් වී යාම කනගාටුදායක තත්ත්වයක් යැයි කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද විවෘත අධිකරණයේදී සඳහන් කර සිටියා.

    2012 වසරේ හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 198.19 ක් ප්‍රමාණයක් සන්තකයේ තබා ගෙන ජාවාරම් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි මෙරිඤ්ඤගේ ධනසිරි නැමැති විත්තිකරුවකු නිදොස් කොට නිදහස් කරමින් මහාධිකරණ විනිසුරුවරයා මෙම කරුණ විවෘත අධිකරණයේ සඳහන් කර සිටියා.

    තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේ මෙම නඩු විභාගයේදී අනාවරණය වූ පරස්පර සාක්ෂි මෙන්ම සටහන් යෙදීමේදී තිබූ දුර්වලතා හේතුවෙන් විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබූ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අපොහොසත් වී ඇති බවයි.

    ඒ අනුව විත්තිකරු නිදොස් කොට නිදහස් කරන බව ද විනිසුරුවරයා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කර සිටියා.

    මෙම විත්තිකරුට එරෙහිව හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගෙන ජාවාරම් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇතැයි පෙන්වා දුන් විනිසුරුවරයා මෙතරම් විශාල හෙරොයින් ප්‍රමාණයක් මෙම විත්තිකරු අත්අඩංගුට ගන්නා අවස්ථාවේදී පොලීසිය විසින් හඳුන්වා දුන්නේ යැයි සිතිය නොහැකි බව සඳහන් කර සිටියා.

    එසේ තිබියදී වැටලීම් සිදු කරනු ලබන නිලධාරීන්ගේ නොසැලකිලිමත්භාවය සහ වැරදි සටහන් යෙදීම හේතුවෙන් අත්අඩංගුවට පත්වන මහා පරිමාණ හෙරොයින් ජාවාරම්කරුවන් නිදහස් වී යාමේ අවස්ථාවක් උදා වී ඇතැයි සඳහන් කළ මහාධිකරණ විනිසුරුවරයා එය කණගාටුදායක තත්වයක් ඇයිද විවෘත අධිකරණයේ සඳහන් කර සිටියා.

    2012 වසරේ සැප්තැම්බර් මස 26 වන දින පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් කොළඹ පුරහල අසල සිදුකළ වැටලීමකදී හෙරොයින් මත්කුඩු ද සමඟ මෙම විත්තිකරු අත්අඩංගුවට ගෙන තිබුණි.

    Latest News