කුරුණෑගල නගරාධිපති; පෙත්සම් වලට විරෝධතා ගොනු කිරීම නොවැ.12

සැප් 14, 2020

    කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි බුවනෙකබා රජ සමයට අයත් බවට සැලකෙන පෞරාණික රාජ සභා ගොඩනැගිල්ලත් කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා ඇතුළු පස් දෙනෙක් අත්අඩංගුවට ගන්නා ලෙස දන්වමින් නිකුත් කර තිබෙන වරෙන්තු ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් තහනම් නියෝග නිකුත් කිරීමේ සිද්ධියට අදාළ පෙත්සම් වලට විරෝධතා ගොනු කිරීම සඳහා අභියාචනාධිකරණයය අද නීතිපතිවරයා වෙත නොවැම්බර් මස 12 වැනි දා දක්වා කල් ලබා දුන්නේය.

    එම පෙත්සම් අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ. එච්. එම්. ඩී. නවාස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

    එහිදී විනිසුරු මඩුල්ල විසින් පෙත්සම්වලට අදාළ විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා නීතිපතිවරයාට නොවැම්බර් මස 12 වැනිදා දක්වා කල් ලබා දුන්නේය.

    පෙත්සම් ඉදිරිපත් කළ කුරුණෑගල නගරාධිපති ඇතුළු පිරිස අභියාචනාධිකරණය හමුවේ කියා සිටින්නේ කඩා ඉවත් කළ බව කියන ගොඩනැගිල්ල පුරාවිද්‍යාත්මක ස්මාරකයක් වශයෙන් පුරාවිද්‍යා පනත යටතේ ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත්කර නොමැති බවයි.

    එම වාතාවරනය මත නීතිපතිවරයාගේ උපදෙස් මත පොලීසිය විසින් තමන්ට එරෙහිව පුරාවිද්‍යා පනත යටතේ කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තාකර අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු ලබා ගැනීමේ ක්‍රියාදාමය නීතිමය වශයෙන් දෝෂ සහිත බවයි ඔවුන් කියා සිටින්නේ.

    එබැවින් තමන් ඇතුළු පිරිස අත්අඩංගුවට ගන්නා ලෙස කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබෙන වරෙන්තුව නීතිමය වශයෙන් බල ශූන්‍ය නියෝගයක් යැයි පෙන්වා දෙන පෙත්සම්කරුවන් එය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසද අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.

    ඒ අනූව මෙම පෙත්සම් සියල්ල විභාග කිරීම සඳහා ඉකුත්දා අවසර දුන් අභියාචනාධිකරණය විනිසුරු මඩුල්ල කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුළ පිරිස අත්අඩංගුවට ගන්නා ලෙස කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය මගින් නිකුත් කර තිබෙන වරෙන්තු ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්ද දැනටමත් නිකුත් කර තිබේ.

    Latest News