ජාතික පාසල් සංඛ්‍යාව 1000 දක්වා වැඩි කෙරේ

සැප් 11, 2020

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සියලු රාජ්‍ය අමාත්‍යවරුන් සමග ඊයේ (10) ජනාධිපති කාර්යාලයේ දී කළ සාකච්ඡාවේ දී ජන ජීවිතයේ සහ සමාජයේ අභිවෘද්ධියට ඉවහල්වන තීරණ රැසක් ගනු ලැබීය.

    දිවයිනේ සමස්ත ජාතික පාසල් සංඛ්‍යාව දහස දක්වා වැඩි කිරීම ඉන් එකකි. දැනට පවතින ඇතැම් ජාතික පාසල් නමට පමණක් සීමා වී ඇත. ප්‍රමාණවත් පහසුකම් කිසිවක් ඒවායේ නැත. එවැනි පාසල්ද කඩිනමින් සංවර්ධනය කරනු ලැබේ.

    පාසල් පද්ධතියේ දියුණුව පිණිස දිස්ත්‍රික් අධ්‍යාපන කමිටු පත් කිරීමට ජනාධිපතිතුමා ප්‍රමුඛ රාජ්‍ය අමාත්‍යවරු තීරණය කළහ. අධ්‍යාපන කලාප කාර්යාල සහ කොට්ඨාස කාර්යාල අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමට ද එකඟත්වය පළ විය.

    ගුරු මාරු සහ දරුවන් පාසල්වලට ඇතුළත් කිරීම හැර පාසල් පද්ධතියේ දියුණුවට ඉවහල්වන සෑම කාර්යයකටම හවුල් වීමේ අවස්ථාව දේශපාලනඥයන්ට විවෘතව පවතී. එය පොදු යහපත අරමුණු කරගත්තක් මිස දේශපාලන ඇඟිලි ගැසීමක් නොවේයැයි ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

    දිවයිනේ පාසල්වල විදුහල්පති පුරප්පාඩු පිරවීම සඳහා වැඩබලන විදුහල්පතිවරු පත්කිරීම පිළිබඳව අද රැස්වීමේ දී සොයා බැලිණ. ගුරු ව්යපවස්ථාව අනුව වසරක් පතා ගුරු විභාග පැවැත්විය යුතුය.

    විදුහල්පති පුරප්පාඩුවට ප්‍රධාන හේතුව එය විධිමත්ව සිදු නොවීමයි. පාසල්වල සිටින දක්ෂ සහ පළපුරුදු ගුරුවරුන් වැඩබලන විදුහල්පතිවරු ලෙස පත් කිරීමට ඇති ඉඩ කඩ විමසා බැලීමට ද තීරණය විය.

    වැසි සමයේ දී නගර ජලයෙන් යටවීමේ ගැටළුව සාකච්ඡාවට ලක් වූ තවත් මාතෘකාවකි. ඒ පිළිබඳව අදහස් පළ කළ ජනාධිපති රාජපක්ෂ මැතිතුමා “පොඩි වැස්සටත් කොළඹ යටවෙනවා. අපි ඊට ස්ථීර විසඳුමක් හඳුන්වා දුන්නා. පසුගිය පස් වසර තුළ එය ක්‍රියාත්මක වුයේ නැහැ. ගැටළුව දැන් යළිත් මතුවෙලා. වගකීම් විවිධ ආයතනවලට පැවරී තිබීමත්, විසඳුම් සාර්ථක නොවීමට හේතුවක්”, යයි කී ජනාධිපතිතුමා එවැනි දුබලතා මගහැර ගැටළු කඩිනමින් විසඳිමේ අවශ්‍යතාව අවධාරණය කළේය.

    ඖෂධ ක්ෂේත්‍රය කෙරෙහි අවධානය යොමු කළ ජනාධිපතිතුමා සහ රාජ්‍ය ඇමතිවරු ඖෂධ පනත සංශෝධනය කිරීම ගැන සාකච්ඡා කළහ. ඖෂධ ආනයනය විධිමත් කිරීමට සහ ඒ සඳහා ඇතිකරගෙන තිබෙන ගිවිසුම් සංශෝධනයට එකඟත්වය පළ විය. “අපේ රටේ අවශ්‍යතාව සඳහා පමණක් නොව විදේශීය වෙළෙඳපොළ සඳහාත් ඖෂධ නිෂ්පාදනය කිරීමට අපට පිළිවන්. ඒ සඳහා ආයෝජකයන් ද සුදානමින් සිටිනවා. මේ ඉලක්කය සපුරා ගැනීම රට ලබන විශාල ජයග්‍රහනයක් ලෙස ඉතිහාසයට එක් වේවි”, ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

    මත්ද්‍රව්‍ය උවදුර පිටුදැකීමේ විසඳුමක් ලෙස සිවිල් ආරක්ෂක කමිටු ස්ථාපනය කොට මත්ද්‍රව්‍ය මර්දන වැඩසටහන් වඩා කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම ගැනද සාකච්ඡා කෙරිණ.

    රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව වැඩිදියුණු කොට සංවර්ධන ක්‍රියාවලියට සක්‍රීයව දායක කර ගැනීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා පැහැදිළි කළේය. ඇතැම් නිලධාරීහූ තීරණ ගැනීමට බිය වෙති.

    මේ තත්ත්වය වෙනස් කළ යුතුය. රාජ්‍ය සේවය කාර්යක්ෂම සහ විධිමත් කිරීමට දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරීන් එකඟත්වයෙන් වැඩ කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

    Latest News