වෛද්‍යපීඨවලට ඇතුළත් කරගන්නා සිසුන් සංඛ්‍යාව 350කින් ඉහළට

සැප් 07, 2020

    රජයේ විශ්වවිද්‍යාලවල වෛද්‍යපීඨ වෙත ඇතුළත් කරගන්නා සිසුන් සංඛ්‍යාව 350කින් ඉහළ නැංවීමට පසුගිය දා (04) අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී එල් පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවේ දී තීරණය විය.

    අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ “සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙහි” සඳහන් ව ඇති පරිදි විශ්වවිද්‍යාල ප්‍රවේශ සුදුසුකම් ලබන සියලු දෙනාට ම උපාධියක් හෝ උපාධියක් දක්වා යාමට අවශ්‍ය වැඩපිළිවෙළක් සකස් කිරීමට කටයුතු යෙදීම සහ දැනට රජයේ විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි කිරීම සඳහා පියවර ගැනීමත් අරමුණු කරගනිමින් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අපේක්ෂිත ඉදිරි අධ්‍යාපන සංවර්ධන ක්‍රියාවලියෙහි එක් ප්‍රමුඛ පියවරක් ලෙස මෙම තීරණය ගෙන ඇත.

    සරසවි ප්‍රවේශ අවස්ථා ලබාදෙන සිසුන් සංඛ්‍යාව පසුගිය වර්ෂවලට වඩා සැලකිය යුතු අන්දමින් ඉහළ නැංවීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් සිදුකළ ඉල්ලීමකට අනුව, මෙම තීරණය ගෙන ඇත්තේ ඒ සඳහා අවශ්‍ය පසුබිම සහ හැකියාව සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සහ වෛද්‍යපීඨ සහිත සියලු රජයේ විශ්වවිද්‍යාලවල උපකුලපතිවරුන් සහ පීඨාධිපතිවරුන් සමඟ සිදුකරන ලද සාකච්ඡා වට කිහිපයකින් ද අනතුරුවයි. සිසුන් වැඩි පිරිසක් රජයේ විශ්වවිද්‍යාලවල වෛද්‍යපීඨ සඳහා එකවර මෙපමණ සිසුන් සංඛ්‍යාවක් ඇතුළත් කරගැනෙන ප්‍රථම අවස්ථාව ද මෙයයි.

    ඒ අනුව, 2019 වසරේ පවත්වන ලද අධ්‍ය්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාලවල වෛද්‍යපීඨ සඳහා සිසුන් ඇතුළත් කිරීමේ දී පසුගිය වර්ෂවලට සාපේක්ෂ ව වැඩි සිසුන් ප්‍රමාණයකට ප්‍රවේශ අවස්ථා ලබාදීමත්, ඒ තුළින් රටේ මානව සම්පතට එක්වන අනාගත වෛද්‍යවරුන් සංඛ්‍යාව ඉහළ නැංවීමත් මෙහි අරමුණයි.

    මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති ජ්‍යේෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා, උප සභාපති ජනිතා එන් ලියනගේ මහත්මිය ප්‍රමුඛ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ නිලධාරීන්, විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සහ වෛද්‍යපීඨ පීඨාධිපතිවරුන් පිරිසක් සහභාගී වූහ.

    Latest News