විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුලත් කරගැනීමට එරෙහි පෙත්සමක්

ජන 28, 2021

    විශ්වවිද්‍යා‍ෙවලට සිසුන් ඇතුලත් කරගැනීම අභියෝගයට ලක් කරමින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

    පැරණි සහ නව නිර්දේශ ලෙස කරන ලද වර්ගීකරණය මත සහ දිස්ත්‍රික් ක්‍රමය මත පදනම්ව විශ්වවිද්‍යාල වලට සිසුන් ඇතුලත් කර ගැනීමට අධ්‍යාපන බලධාරීන් ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කිරීම අත් හිටුවන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ රිට් පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය නියෝග කළා.

    ඒ අනුව අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින අධ්‍යාපන ඇමති මහාචාර්ය ජී. එල්. පීරිස්, එම අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග ඇතුළු පිරිසකට මාර්තු මස 10 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වමින් අධිකරණය විසින් නොතීසි නිකුත් කළා

    2019 වසරේ ජීව විද්‍යා අංශයෙන් නව නිර්දේශය යටතේ අ.පො.ස.උසස් පෙළ විභාගයට පෙනී සිටි අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි කේ.සනුමි තරින්දයා ද සිල්වා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් පසුවයි අධිකරණය මෙම නියෝගය කළේ.

    සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් සලකා බැලුනා.

    පෙත්සම්කාර සිසුවිය කියා සිටීන්නේ 2019 වසරේදී විශ්ව විද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතනවලට සිසුන් ඇතුලත් කර ගැනීම පැරණි සහ නව විෂය නිර්දේශ මත පදනම්ව සිදු කිරීම හේතුවෙන් නව නිර්දේශය යටතේ පෙනී සිටී සිසුන්ට දැඩි අසාධාරණයක් සිදු වී ඇති බවයි.

    මේ නිසා වෛද්‍ය පීඨයට ඇතුළත් වීමට අපේක්ෂා කළ තමන්ට එම අවස්ථාව මේ වන විට අහිමි වී ගොස් තිබෙන බවද පෙත්සම්කාරිය චෝදනා කළා.

    එබැවින් මෙම ක්‍රමය පදනම් කරගෙන විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුලත් කර ගැනීම වලක්වන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස පෙත්සම්කාරිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

    එමෙන්ම විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතනවලට සිසුන් ඇතුලත් කර ගැනීම සඳහා නව ක්‍රමවේදයක් සකස් කරන ලෙස වගඋත්තරකරුවන් ට නියෝගයක් නිකුත් කරන ලෙස ද ඇය මෙම පෙත්සම මගින් ඉල්ලා තිබෙනවා.

    එසේම තමන්ව කුමන හෝ විශ්වවිද්‍යාලයක වෛද්‍ය පීඨයට ඇතුලත් කර ගන්නා ලෙස වගඋත්තරකරුවන් ට නියෝගයක් කරන ලෙස ද පෙත්සම්කාරිය වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටිනවා..

    Latest News