නෞකාවේ මෙහෙයුම් සඳහා බ්‍රිතාන්‍ය සහ නෙදර්ලන්ත කණ්ඩායමක් දිවයිනට 

සැප් 06, 2020

    “නිව් ඩයමන්ඩ්“ නෞකාවේ ආපදා තත්වය පිළිබඳ ඉදිරි මෙහෙයුම් කටයුතු සඳහා බ්‍රිතාන්‍ය සහ නෙදර්ලන්ත විශේෂඥයින් 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද උදෑසන දිවයිනට පැමිණියේය.

    මුදවා ගැනීමේ මෙහෙයුම් විශේෂඥයින්, ආපදා තක්සේරුකරුවන් හා නීති උපදේශකයින් ඇතුළු 10 දෙනෙකු ඊට අයත්. මේ අතර, “නිව් ඩයමන්ඩ්“ නෞකාවේ ගින්න නිවා දැමීමේ ක්‍රියාන්විතයට එක්ව සිටින, සියලු පාර්ශවකරුවන්ට සිය ස්ත්‍රතිය පළ කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

    ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ අනෙකුත් පාර්ශවකරුවන් ගින්න නිවීම සඳහා රසායනික ද්‍රව්‍ය සහ ජලය යොදා ගෙන ආපදාවට ලක්වූ නෞකාවේ ගිනිනිවීම හා සිසිලන ආවරණය ලබාදීම තවදුරටත් ඉතා කාර්යක්‍ෂමව සිදු කරනු ලබයි. ගොඩබිම සිට නාවික සැතමුප් 40ක, එනම් කිලෝ මිටර් 74ක් පමණ දක්වා වූ ගැඹුරු මුහුදේ නෞකාව රඳවාගෙන ක්‍රියාත්මක වන මෙම මෙහෙයුම සඳහා, ඊයේ මධ්‍යම රාත්‍රියේ “ඕෂන් බ්ලිස්“ [Ocean bliss] නම් ට්‍රග් යාත්‍රාවද එක්විය. ඊයේ රාත්‍රී කාලයේ දී ආපදාවට පත් නෞකාව ඇති මුහුදු ප්‍රදේශයේ යම් රළු ස්වභාවයක් හා සුළඟේ වැඩිවීමක් නිරීක්‍ෂණය වුවද, එම අභියෝග හමුවේ ද, මෙම ආපදා කළමනාකරණ මෙහෙයුම අඛණ්ඩව සිදු කෙරුණු අතර, අද දිනය පුරාවට ද දහන අපෝෂක රසායනික ද්‍රව්‍ය හා ජලය යොදා ගනිමින් මෙම ආපදා තත්වය මැඩ පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

    Oil px 900 06 09 20

    නිව් ඩයමන්ඩ් නෞකාවේ වාණිජ හිමිකරු වන, ග්‍රීසියේ ඇතෑන්ස් නුවර පිහිටි “නිව් ෂිපින්“ ආයතනය විසින් ආපදා ගැලවුම්කාර පාර්ශවයක් ලෙස, සිංගප්පුරුවේ සිට ක්‍රියාත්මක වන එස්.එම්.අයි.ටී සිංගප්පූර් පෞද්ගලික ජාත්‍යන්තර ආයතනය පත්කරනු ලැබ ඇති බව නාවික හමුදාව පවසයි. එම ආයතනය මේ වන විට ආපදා ගැලවුම් සඳහා බොර තෙල් සම්බන්ධව විශේෂඥ දැනුමක් ඇති පුද්ගලයින් හා උපකරණ නිව් ඩයමන්ඩ් නෞකාව වෙත යොමු කරමින් පවතී.

    මෙම නෞකාව සමඟ ඇති ටීටීවී වන් නමැති ට්‍රග් යාත්‍රාව මෙවැනි ආපදාවන් සම්බන්ධව කටයුතු කළ හැකි ගලවා ගැනීමේ විශේෂඥ ප්‍රධානියෙකු ඇතුළු කණ්ඩායමක් ද සිටී. එම ට්‍රග් යාත්‍රාව හා එක්ව කටයුතු කිරීමට බොර තෙල් නැව් හැසිරවිය හැකි විශාල ප්‍රමාණයේ ට්‍රග් යාත්‍රා 2ක්, සිංගප්පූරුව සහ මොරිෂස් දූපත් යන රටවලින් මේ වනවිට පිටත්ව ඇති බව නාවික හමුදාව පවසයි.

    එස්.එම්.අයි.ටී. සිංගප්පූරු පෞද්ගලික සමාගම, රැගෙන ඒමට නියමිත පුද්ගලයින් හා භාන්ඩ පිලිබඳව නාවික හමුදාව දැනුවත් කිරීමටත්, නාවික හමුදාවට අවශ්‍ය සහය ලබාදීමටත්, සූදානමින් සිටී. අද උදෑසන කාලයේදී මුදවා ගැනීමේ මෙහෙයුම් විශේෂඥයින් ආපදා තක්සේරුකරුවන් හා නීති උපදේශකයෙකු ද ඇතුළු 10 දෙනෙකුගෙන් යුත් බ්‍රිතාන්‍ය හා නෙදර්ලන්ත විශේෂඥයින් පිරිසක් දිවයිනට පැමිණ සිටී. නෞකාවේ ආපදා කළමනාකරණ කටයුතු විමර්ශන කර ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ අවශ්‍ය නිර්දේශ ලබාදීමට නියමිතයි.

    ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ප්‍රධාන ගිනි නිවීමේ නිලධාරි ඇතුළු කණ්ඩායමක් ද, ආපදාවට පත් නෞකාව නිරීක්‍ෂණය සඳහා අද එක්වීමට නියමිතව තිබේ. නාවික හමුදාවේ “සිදු රළ“ නෞකාව තුළ මේ වනවිට ආරක්‍ෂිතව වෙන්කර තබා සිටින ආපදාවට පත් නෞකාවේ ගලවාගත් කාර්ය මණ්ඩලයේ නාවිකයන් 20 දෙනාට ප්‍රථම වරට දුරකතන මාර්ග ඔස්සේ සිය පවුල්වල සාමාජිකයන් සමඟ සම්බන්ධීමට අවස්ථාව නාවික හමුදාව ලබාදී තිබේ.

    Ship px 900 06 09 20

    ශ්‍රී ලංකාව නාවික හමුදාවට අයත් නෞකා 3ක්, ඉන්දියානු වෙරළ ආරක්‍ෂිත දෙපාර්තමේන්තුවට අයත් නෞකා 5ක්, ඉන්දියානු නාවික හමුදාවට අයත් යුධ නෞකාවක්, හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමාගමේ රාවණා සහ වසඹ යන ට්‍රග් 2ක්, ආපදාවට පත් නෞකාව අයත් සමාගම යෙදවූ වින්ගර් නම් ට්‍රග් යාත්‍රාව හා ගැඹුරු මුහුදේ මෙහෙයුම් සිදුකරනු ලබන, ගිනිනිවීම විශේෂඥයින්ගෙන් සමන්විත ටී.ටී.ටී. වන් නමැත් ට්‍රග් යාත්‍රාව හා “ඕෂන් බ්ලිස්“ ට්‍රග් යාත්‍රාව ද මෙම ගිනි නිවීම් මෙහෙයුම් සඳහා සක්‍රීයව දායක වී තිබේ.

    මීට අමතරව, නාවික හමුදාවේ වේග ප්‍රහාරක යාත්‍රා 3ක් හා ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නෞකා 2ක්, සැපයුම් යාත්‍රා වශයෙන් මෙහෙයුමට එක්ව සිටී. ඉන්දීය වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් “ඩ්‍රෝණියර්“ ගුවන් යානාව ද, මත්තල මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපලින් ගුවන් ගතවී ආපදාවට පත් නෞකාව පිහිටි මුහුදු ප්‍රදේශයේ නිරීක්‍ෂණ කටයුතුවලට ද මේ වනවිට එක්ව සිටී. විශේෂඥ උපදෙස් අනුව ක්‍රියාත්මක වන මෙම ඒකාබද්ධ ආපදා මර්දන මෙහෙයුමෙන් නෞකාවේ ගින්න පැතිරයාම මේ වනවිට සාර්ථකව පාලනය කර ඇතැයි වාර්තාවේ. එම නෞකාවෙන් සාගරයට තෙල් කාන්දුවීමේ කිසිදු අවදානමක් නොමැති බව නාවික හමුදාව පවසයි.

    මේ අතර, එම් ටී “නිව් ඩයමන්ඩ්“ නෞකාවේ ඇති වූ ගින්න පාලනය කිරීමට ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සියලු ආරක්‍ෂක අංශ හා වගකිවයුතු ආයතන සාමාජිකයින් සියලු දෙනාට තම ස්තූතිය හිමිවන බව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි. සමුද්‍රීය පරිසර ආරක්‍ෂණය හා ජිවිත බේරා ගැනීම උදෙසා සිය ජිවිත අවදානම නොතකා සිදු කළ මෙහෙවර මිනිසාගේ පැවැත්ම උදෙසා සිදු කළාවූ, මිල කළ නොහැකි උතුම් කැපකිරීමක් බව නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

    නෞකාවේ ගින්න නිවා දැමීමේ ක්‍රියාන්විතයේ දී ශ්‍රී ලංකාවේ ගුවන් හමුදාව හා නාවික හමුදාව ලොවට විදහා දැක්වූ වීරත්වය හා කැපවීම පිලිබඳ තමා ඉතාමත් සතුටට පත්වන බව ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය. ඉන්දීය නාවික හමුදාව සහ ඉන්දීය වෙරළ ආරක්‍ෂක නෞකා 6ක කාර්ය මණ්ඩලය මේ වනවිට අනතුරට පත් නෞකාව බේරා ගැනීම සඳහා ශ්‍රී ලංකාව සමඟ ඒකාබද්ධ මෙහෙයුමක එක්ව සිටීම ප්‍රශංසනීය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා නිකුත් කළ නිවේදනයේ සඳහන්.

    Latest News