සිව් වසරක අත්දැකීම් ජනතා සුබසෙතට

ජන 08, 2019

    රටේ රාජ්‍ය නායකයා ලෙස පත්කර ගනිමින් ජනතාව තැබූ අපේක්ෂා ඉටුකිරීමට ගෙන ගිය වැඩපිළිවෙලේ සාර්ථක මෙන්ම අසාරථක වූ අවස්ථා ද තිබුනත්, ලැබු ජයග‍්‍රහණ තවදුරටත් තහවුරු කිරීමට කටයුතු කරන බව ඔහු පෙන්වා දුනී.

    ලැබු පරාජයන් ජයග‍්‍රහණය කරා මෙහෙයවීමට ඉදිරි කාලසිමාව තුළ දී කැපවන බව ජනාධිපතිතුමා අවධාරණය කළේය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව අවධාරණය කළේ ලග්ගල නව හරිත නගරය අද (08) පෙරවරුවේ ජනතා අයිතියට පවරාදීමෙන් අනතුරුව පැවති ජන හමුව අමතමිනි.

    ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, නිදහස තහවුරු කරමින් සියලූ ජාතින් බියෙන් සැකෙන් තොරව ජීවත්වන සමාජයක් ගොඩනැගීම මෙන්ම නිදහස් මාධ්‍යයක්, ස්වාධීන අධිකරණයක්, අපක්ෂපාති රාජ්‍ය සේවයක් ගොඩනැගීමට සහ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට ඉකුත් සිව් වසර තුළ වැදගත් පියවර රාශියක් ගත් බව ජනාධිපතිතුමා මෙහි දී සිහිපත් කළේය. රට ගොඩනැගීමට ප‍්‍රබලතම අභියෝගයක්ව පවතින වංචාව, දුෂණය සහ අක‍්‍රමිකතාවය පිටුදැකීමට පසුගිය සිව් වසර තුළ සුවිශේෂී කැපකිරීමක් සිදු කළ අතර ඉකුත් අත්දැකීම් ආශිර්වාදයක් කර ගනිමින් දුෂණය සහ වංචාව පිටුදැකීමට ශක්තිමත් වැඩපිළිවෙළක් ඔස්සේ අත්වැල් බැඳ ගැනීමට එක් වන ලෙස ජනාධිපතිතුමා මෙහිදී සියලූදෙනාට ආරාධනා කළේය.

    එමෙන්ම මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිතුමා කියා සිටියේ අද රටට අවශ්‍ය වන්නේ පක්ෂ පාටවලට බෙදී බලය ගැන පමණක් සිතා පෞද්ගලික න්‍යාය පත‍්‍රවලට අනුව කටයුතු කරන පිරිසක් නොව පොදු න්‍යාය පත‍්‍රයක් අනුව රට ගැන සිතා කටයුතු කරන පිරිසක් බවයි. අලූතින් සිතා, අලූතින් සැලසුම් කර අලූත් ගමනක් යාමට ලැබු නව වසරේ අත්වැල් බැඳගන්නා ලෙස තමා සියලූදෙනාට ආරාධනා කරන බවත් කියා සිටියේය.

    රජ රට ජනතාවගේ ජල ගැටලූව විසදීම සඳහා මොරගහකන්ද - කළු ගඟ දැවැන්ත වාරි යෝජනා ක‍්‍රමය ක්‍රියාත්මක කළා සේම, තමාට සැබෑ ලෙසම සතුටු විය හැක්කේ උතුරේ ජනතාවගේ ජල ගැටලූවට ද නිසි විසඳුමක් ලබා දුන් දිනක බව ජනාධිපතිතුමා සඳහන් කළේය. නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, ආර්ථික සමෘද්ධිය මෙන්ම ජනතාවට බියෙන් සැකෙන් තොරව ජීවත්විය හැකි සමාජයක් ගොඩනැගීමේ පුළුල් මෙහෙවර ඉටුකිරීමේ දී ජාතින් අතර සමගිය සහ සංහිදියාව ගොඩනැගීමට කළ හැකි සැම කාර්යයක්ම ඉටුකරන බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

    පොදුජන අපේක්ෂාවන් ඉටුකරමින්, සාමකාමී දේශයක් සහ තිරසර සංවර්ධනයක් ගොඩනැගීමේ අරමුණින් 2015 ජනවාරි 08 වනදා මෙරට හැට දෙලක්ෂයකට අධික ජනතාවගේ ඡන්දයෙන් ජනාධිපති ධුරයට පත්ව අදට සිව් වසරක් සපිරේ.

    මේ අතර අද උදෑසන ජනාධිපතිතුමා විසින් සිය කටයුතු ආරම්භ කරනු ලැබුවේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ දිවංගත අග‍්‍රාමාත්‍ය එස්.ඩබ්.ආර්.ඞී. බණ්ඩාරනායක ශ‍්‍රීමතාණන්ගේ පිළිරුවට පුෂ්පෝපහාර දක්වමිනි. දිවංගත අග‍්‍රාමාත්‍ය එස්.ඩබ්.ආර්.ඞී. බණ්ඩාරනායක ශ‍්‍රීමතාණන්ගේ 120 වැනි ඡන්ම දින සැමරුම නිමිත්තෙන් ගාලූ මුවදොර පිහිටි බණ්ඩාරනායක පිළිරුව අභියස පැවති උත්සවයට එක්වූ ජනාධිපතිතුමා පිළිරුවට මල් කළඹක් තැන්පත් කර පුෂ්පෝපහාර දැක්වීය.

    මෛත්‍රී පාලනයක් - තිරසර යුගයක්, ආර්ථික හා සංස්කෘතික පුනරුදයේ, පස් අවුරුදු පිවිසුම සනිටුහන් කරමින් මොරගහකන්ද - කළුගඟ ව්‍යාපෘතියෙන් යටවන පැරණි ලග්ගල නගරය වෙනුවට ඉදිකළ ලග්ගල නව හරිත නගරය ජනතා අයිතියට පවරාදීමේ අවස්ථාවට ඉන් අනතුරුව ජනාධිපතිතුමා එක් විය.

    මොරගහකන්ද ජලාශයට සම්බන්ධ අනෙක් මහා ජලාශය වන කළුගඟ ජලාශය ද අද ජනාධිපතිතුමා අතින් ජනතා අයිතියට පවරාදීම සිදු විය. නවීන පහසුකමිවලින් සමන්විත අංග සම්පූර්ණ නව ලග්ගල නගරය එම ජනතාවට හිමි වූයේ ජනාධිපතිතුම රජ රට ජනතාව වෙනුවෙන් දුටු සිහිනයක් ඉටුකරමින් දශක හතරකට පසු මෙරට ඉදිකළ විශාලතම බහුකාර්ය ව්‍යාපෘතිය වූ මොරගහකන්ද- කළුගඟ මහා ජලාශ ව්‍යාපෘතියේ තවත් අතුරු ප‍්‍රතිඵලයක් ලෙසිනි.

    මොරගහකන්ද - කළුගඟ ව්‍යාපෘතියෙන් අවතැන් වන පවුල් 3000 කගේ සේවා අවශ්‍යතා සපුරාලමින් කළුගඟ ජලාශයට යටවන ලග්ගල නගරය වෙනුවට කළුගඟ ජලාශයට නුදුරු ව නව ලග්ගල නගරය ඉදිකර තිබේ. අනාගත අවශ්‍යතාවයන් සලකා බලමින් හා නව නාගරික සංකල්පය වන, උද්‍යාන නගර සංකල්පයට අනුව මෙම නගරය සැලසුම් කර තිබෙන අතර, මුළු ආයෝජනය රුපියල් මිලියන 4500 කි.

    ලග්ගල නව නගරයේ රාජ්‍ය ආයතන 26ක් සඳහා ගොඩනැගිිලි ඉදිකර තිබෙන අතර මහජන සේවා සපයන එම ආයතන සියල්ල එකිනෙකට පහසුවෙන් සම්බන්ධ විය හැකි ආකාරයට සැලසුම් කර තිබීම විශේෂත්වයකි. ඒ අනුව ඉදිකෙරුණු ලග්ගල නව ප‍්‍රදේශීය රෝහල ජනතා අයිතියට පවරාදීම සහ පල්ලේගම මධ්‍ය මහා විද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

    එමෙන්ම නව නගරයේ ඉදිකළ නව ප‍්‍රදේශීය ලේකම් කාර්යාලය, පොලිසිය, ක්‍රීඩාංගනය, වෙළෙඟපොළ, බස් නැවතුම්පොළ, ගොවි ජන සේවා මධ්‍යස්ථානය, තැපැල් කන්තෝරුව, සෞඛ්‍ය මධ්‍යස්ථාන, මහා මාර්ග පද්ධති ඇතුළු රාජ්‍ය සේවා හා ප‍්‍රජා යටිතල පහසුකම් ජනතා අයිතියට පවරාදීම මැති ඇමතිවරුන් අතින් අද සිදු කෙරිණි

    Last modified on අඟහරුවාදා, 08 ජනවාරි 2019 18:35

    Latest News