ජනපති පදවි ප්‍රාප්තියේ සිව් වසරක්

ජන 08, 2019

    ජනවාරි 08 විප්ලවයට අදට සිව් වසරක් සපිරෙනවා.

    රට නව මඟකට යොමු කරමින්, මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙරට හය වැනි විධායක ජනාධිපතිවරයා ලෙස ජනතාව විසින් තෝරා පත් කරගනු ලැබුවේ, 2015 වසරේ ජනාවරි 08 වැනි දිනයි.

    ශ්‍රී ලංකාවේ හැට දෙලක්‍ෂයක ජනකායක් එදා ඡන්දය භාවිත කළේ, රට ප්‍රජාතන්ත්‍රවාදයේ දිශානතියට යළි යොමු කිරීම සඳහායි. ඒ අනුව “මෛත්‍රී පාලනයක්-ස්ථාවර රටක්“ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කරමින් ජනාධිපතිතුමා සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක් බිහිකිරීමේ කාර්යයට මුලපිරුවා.

    19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් විධායක ජනාධිපති ධූරයේ බලතල තමාම අඩු කරගත් ප්‍රථම හා එකම නායකයා වන්නේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමායි. අනතුරුව, ස්වාධීන කොමිසන් සභා ස්ථාපනය කර රාජ්‍ය සේවය නිදහස් හා ස්වාධීන මාවතකට ගෙන ඒමට එතුමා ක්‍රියා කළා.

    ජාතික විගණන පනත, ජාතික ඖෂධ පනත මෙන්ම තොරතුරු දැනගැනීම සඳහා වන පනත මෙරට සුවහසක් ජනතාව එදා මෙදාතුර ලබාගත් සුවිශාල ජයග්‍රහණ අතර කැපී පෙනෙනවා. මාධ්‍යවේදීන්ට එල්ලව තිබූ ජිවිත තර්ජන සහ මාධ්‍ය මර්දනයට තිත තබමින් දිවයිනේ සියලුම ජනමාධ්‍යවේදීන්ට නිදහස උදාකර දෙනු ලැබුවේ ද ජනාධිපතිතුමාගේ මෙම පාලන කාලය තුළයි.

    වත්මන් රජයේ ප්‍රමුඛ අරමුණක් වන්නේ, ලොව සෑම රටක් සමඟම මිත්‍රශීලී විදේශ ප්‍රතිපත්තියක් පවත්වා ගැනීමයි. ඒ අනුව, දුරස්ව සිටි බලවත් රාජ්‍යයන් රැසක් ශ්‍රී ලංකාව සමඟ සබඳතා යළි ශක්තිමත් කර ගත්තේ, වත්මන් පාලනය යටතේයි. ශ්‍රී ලංකාවට ආධාර ලබා නොදුන් රටවල් සහ ආයතන නැවත සබඳතා ශක්තිමත් කර ගැනීම ද විශේෂත්වයක්.

    පරිසර සංරක්‍ෂණයට හා ආහාර නිෂ්පාදන කාර්ය සාධන බලකාය පිහිටුවීම ද කෘෂිකාර්මික රටක් වූ ශ්‍රී ලංකාව යළි පිබිදීමට හේතු වුණා. දරුවන්ට එරෙහිව සිදුවන හිංසන සහ ළමා අපචාර පිටුදැකීමේ අරමුණෙන් ජනාධිපතිතුමාගේ මඟ පෙන්වීම යටතේ දරුවන් සුරකිමු වැඩසටහන ආරම්භ කෙරුණේ ද ගෙවුණු සිව් වසර තුළයි.

    රාජ්‍ය සේවක වැටුප දස දහසකින් වැඩි කිරීම, අත්‍යවශ්‍ය ඖෂධ මිල පහත හෙළිම සහ හෘද රෝගීන්ගේ හදවත් සැත්කම් සඳහා ස්ටෙන්ට් නොමිලයේ ලබාදීම, ජනාධිපතිතුමාගේ දූරදර්ශී ප්‍රතිපත්තියේ තවත් ප්‍රතිඵල කිහිපයක්. අතුරුදන් වූවන්ගේ කාර්යාලය ස්ථාපනය කිරීමෙන් සිංහල, දෙමළ, මුස්ලිම් සියලුම ජනතාවට සුවිශේෂි සහනයක් ලබාදීමට පියවර ගෙන තිබෙනවා. මානව හිමිකම් ප්‍රවර්ධනය හේතුවෙන් මේ වනවිට ශ්‍රී ලංකාවට ලැබෙන විදේශාධාර සහ විදේශ ආයෝජන ඉහළ ගිහින්.

    මෙරට මහා වාරි විශ්මිතය වන මොරගහකන්ද කළු ගඟ යෝජනා ක්‍රමය කඩිනම් කර එහි දියවර නිකුත් කෙරුණේ ද මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනපති ලෙස පත්ව ගෙවුණු සිව් වසර තුළයි. ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත් කළාසේම එය ලෝක උරුමයක් බවට පත් කිරීමේ කටයුතු ද සම්පාදනය කෙරෙමින් පවතින්නේ වත්මන් ජනපති ධූරකාලයේ මෙරට සිදුවූ ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්.

    මෙරට ප්‍රධානතම දේශපාලන පක්‍ෂ යුගලය වන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහ එක්සත් ජාතික පක්‍ෂය පස මිතුරු දේශපාලන පසෙකලා ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ගනු ලැබුවේ ද ඓතිහාසික දේශපාලන තීන්දුවක්. එහි නියමුවා වූයේ ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමායි.

    Latest News