කෝට්ටේ හිටපු නගරාධිපතිවරයාට එරෙහි නඩුවට දින නියම වෙයි

අගෝ 26, 2020

    ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභා බල ප්‍රදේශය තුල පිහිටි පාලමක් කඩා ඉවත් කිරීම තුළින් පොදු දේපළ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කොට එම මහනගර සභාවේ හිටපු නගරාධිපති ජනක රණවක මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුවක් දෙසැම්බර් මස 4 වන දා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය දින නියම කර තිබේ.

    මෙම නඩුව අද කොළඹ මහාධිකරණය ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී විත්තිකාර ජනක රණවක මහතා අධිකරණයේ පෙනී සිටියා.

    එහිදී රජයේ නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේ සාක්ෂි වශයෙන් ඡායාරූප කිහිපයක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවත් ඊට අදාළව සාක්ෂි ආඥා පනත යටතේ විත්තිය වෙත නොතීසි ලබා දෙන බවද දැනුම් දුන්නා.

    ඉන් අනතුරුව නඩුවේ සාක්ෂි විභාගය දෙසැම්බර් මස 4 වනදා ආරම්භ කිරීමට තීන්දු කළ මහාධිකරණ විනිසුරුවරයා එදින පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කළා.

    2012 වසරේ නොවැම්බර් මස විසි වනදා කෝට්ටේ මහ නගර සභා බල ප්‍රදේශය තුල පිහිටි ඔබේසේකරපුර ප්‍රදේශයේ අරුණෝදය මාවත සහ ගැටේ වත්ත ප්‍රදේශයේ යා කරන පාලමක් කඩා ඉවත් කිරීම තුළින් දණ්ඩ නීති සංග්‍රහය සහ පොදු දේපළ පනතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කොට නීතිපතිවරයා විසින් හිටපු නගරාධිපති ජනක රණවක මහතාට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙනවා.

    Latest News