සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධ නඩුවට රාජිතට සිතාසි

අගෝ 10, 2020

    ඉකුත් ජනාධිපතිවරණය සමයේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් සුදු වෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ් යන අයට මේ මස 28 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ මහාධිකරණය විසින් සිතාසි නිකුත් කර තිබෙනවා.

    නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අධිචෝදනා පත්‍ර සලකා බැලීමෙන් පසුව කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් මෙම සිතාසි නිකුත් කිරීම සිදු කළා.

    ඉකුත් ජනාධිපතිවරණය සමයේ කොළඹදී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා සුදු වෑන් රථවලින් පුද්ගලයින් පැහැරගෙන යාම සම්බන්ධයෙන් ප්‍රකාශ සිදු කර බොරු සාක්ෂි නිර්මාණය , ජනාධිපතිවරණයේ ප්‍රතිඵලවලට බලපෑමක් ඇතිවිය හැකි ආකාරයේ දූෂිත ක්‍රියාවක් සිදු කිරීම යනාදී අධිචෝදනා සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහය යටතේ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව චෝදනා එල්ල කර තිබේ.

    අදාළ මාධ්‍ය සාකච්ඡාවට බොරු රැවුල් පැළඳගෙන ව්‍යාජ වෙස් ගනිමින් ඉදිරිපත් වූ ඇන්තනී ඩග්ලස් ප්‍රනාන්දු යන නමින් පෙනී සිටි සකලවල්ලි ආරච්චිගේ සරත් කුමාර නැමැත්තා සුදුවෑන් යොදාගනිමින් පුද්ගලයින් පැහැර ගැනීමේ සිද්ධීන්වලට එවක ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වගකිව යුතු බවට ව්‍යාජ ප්‍රකාශ සිදු කර තිබූ බව විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අධි චෝදනා පත්‍රයේ සඳහන් කර තිබුණි.

    එමෙන්ම අදාළ මාධ්‍ය සාකච්ඡාවට එක් වූ අතුල සංජීව මදනායක නමැත්තා කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් නැමැත්තාට අයත් රන් තොග කොල්ලකෑම, සුදු වෑන්වලින් පුද්ගලයින් පැහැරගෙන ගොස් මරා දැමීම යනාදී ක්‍රියාවන්ට තමාද සම්බන්ධ වූ බවට අසත්‍ය ප්‍රකාශ සිදුකර වැරදි තොරතුරු සමාජගත කර තිබූ බවද එම චෝදනාවලින් සඳහන් කර ඇත.

    ඉකුත් වසරේ නොවැම්බර් 10 වනදා කොළඹ පැවති අදාළ මාධ්‍ය සාකච්ඡාව හරහා එවක ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අගතියක් සිදු කිරීමේ අරමුණින් බොරු සාක්ෂි නිර්මාණය කිරීම , ජනාධිපතිවරණයේ ප්‍රතිඵලවලට බලපෑමක් ඇතිවිය හැකි ආකාරයේ දූෂිත ක්‍රියාවක් සිදු කිරීම සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහය යටතේ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි යන විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව මෙම චෝදනා එල්ල කර තිබේ.

    Latest News