බොරු සාක්‍ෂි ලබාදීමට තවත් පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට

අගෝ 04, 2020

    හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාට එරෙහිව අධිකරණයේ පවතින නඩු කටයුත්තකට අදාළව බොරු සාක්‍ෂි ලබාදීම සම්බන්ධයෙන් තවත් පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    ඔහු ඇඹිලිපිටිය පොලිස් ස්ථානයට අනුයුක්ත උප පොලිස් පරීක්‍ෂකවරයෙකු බව පොලිස් මූලස්ථානය පවසයි.

    සැකකාර උප පොලිස් පරීක්‍ෂකවරයා කොළඹ අපරාධ කොට්ඨාසයට ඊයේ කැඳවා ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගැණින. 2014 වසරේදී හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාට එරෙහිව පවතින නඩු කටයුත්තකට අදාළව ගිනි අවි හඳුන්වා දී බොරු සාක්‍ෂි ලබාදීම සම්බන්ධයෙන් මතු වූ ගැටලුකාරී තත්වයක් මත පොලිස්පතිවරයාගේ නියෝග අනුව කොළඹ අපරාධ කොට්ඨාසය විමර්ශනයක් ආරම්භ කළේය.

    ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත මීට අදාළව කරුණු වාර්තා කර ඇති බව පොලිසිය පවසයි. එම නඩුවේ සැකකරුවකු වන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ශානි අබේසේකර මහතා ඉකුත් ජුලි 31 වැනිදා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබීමෙන් පසු ලබන 07 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට ගම්පහ මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්‍ෂකවරයා අද දින ගම්පහ මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Latest News