බන්දිත ගුදම් පවත්වාගෙනයාම පෞද්ගලික අංශයට !

ඔක් 21, 2018

    ආනයනික භාණ්ඩ නිෂ්කාශනය සඳහා බන්දිත ගුදම් පවත්වාගෙන යාමට පෞද්ගලික අංශයට අවසර දීමට රජය තීරණය කර තිබේ.

    රේගු ආඥා පනත යටතේ, අමාත්‍ය මංගල සමරවීර මහතා වෙත පවරා ඇති බලතල අනුව මේ සඳහා වන රෙගුලාසි පනවන ගැසට් නිවේදනයට අමාත්‍යවරයා පසුගියදා අත්සන් තබා ඇත.

    ඔක්තෝබර් පළමු වැනිදා සිට ක්‍රියාත්මක නව රෙගුලාසි අනුව ආනයනික භාණ්ඩ නිෂ්කාශනය පමණක් නොව, අපනයන කටයුතු මෙන්ම ප්‍රති අපනයන ද මෙම බන්දිත ගුදම් උපයෝගි කර ගනිමින් ක්‍රියාත්මක කළ හැකියි.

    අන්තර් ජාතික වරාය හා ගුවන් තොටුපොළ සිට සාධාරණ දුර ප්‍රමාණයක් තුල මෙන්ම භාණ්ඩ නිෂ්කාශනය කරන්නන් හට පහසුවෙන් පිවිසිය හැකි ස්ථානයක මෙම ගුදම පිහිටුවා තිබේ.

    ඒ සඳහා මුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය යටතේ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවෙන් බලපත්‍ර ලබාගත හැකියි.

    මේ සඳහා වාර්ෂික බලපත්‍ර ගාස්තුව වශයෙන් අය කරනු ලබන්නේ රුපියල් ලක්‍ෂ 05කි.

    මේ අතර මහා පරිමාණ ඖෂධ නිෂ්පාදන, කිරි කර්මාන්ත හා කසළ කළමනාකරණය සඳහා වන ආයෝජනවලට අවශ්‍ය ආනයනික ප්‍රාග්ධන භාණ්ඩ සඳහා 2018 අය-වැය මගින් යෝජනා කළ පරිදි එම භාණ්ඩ සඳහා ද බන්දිත ගුදම් පවත්වාගෙන යාමට අවසර ලබාදී තිබේ.

    මෙම ප්‍රාග්ධන භාණ්ඩ සඳහා බදු නිදහස ද ලබාදී ඇති බවයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසන්නේ.

    Latest News