රජයට සහය පලකරමින් සැහැල්ලු දුම්රියට ජපන් ආධාර

ජන 04, 2019

    කොළඹ නගරය හා ඒ ආශ්‍රිතව පවතින දැඩි රථවාහන තදබදයට විසඳුමක් ලෙස යෝජිත සැහැල්ලු දුම්රිය මාර්ග පද්ධතිය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 1850 ක ණය ආධාර ලබාදීමට ජපානය එකඟවි තිබේ.

    මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට යෝජිත අතර එහි වැඩකටයුතු මෙම වසර තුළ ආරම්භ කෙරේ.

    කොළඹ කොටුව සිට මාලඹේ දක්වා දුම්රිය ස්ථාන 16 කින් සමන්විත කි.මී. 17 ක් දිගින් යුත් මෙම දුම්රිය මාර්ග ව්‍යාපෘතියට මූල්‍ය හා තාක්ෂණික ආධාර සැපයීමට ජපානයේ ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (ජයිකා) ඉදිරිපත් වී ඇත. 

    මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් මෙම ණය ආධාර ලබාගැනීම පිණිස ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට ඊයේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබීණ. ඒ අනුව, ජයිකා ආයතනය විසින් 2018 – 2024 කාලය තුළ අදියර 6 කින් මෙම ණය මුදල ලබාදීමට නියමිතයි. මෙහි පළමු අදියර යටතේ ඇ.ඩො.මි. 260 ක් පිරිනැමේ. ඒ සඳහා ජයිකා ආයතනය සමඟ ගිවිසුමකට එළඹීමට අමාත්‍ය මංගල සමරවීර මහතා කරන ලද නිර්දේශයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

    ජපාන රජය විසින් 0.1% ක ඉතා අඩු සහන වාර්ෂික පොලී මත ලබාදෙන මෙම ණය මුදල අවු. 12 ක සහන කාලයක් සහිතව වසර 40 කින් ආපසු ගෙවීය යුතුවේ.

    කොළඹ නගරයේ සහ තදාසන්න ප්‍රදේශවල පවත්නා දැඩි රථවාහන තදබදය සැලකිල්ලට ගනිමින් ශීඝ්‍රගාමී ප්‍රවාහන පද්ධතියක් තුළින් ඵලදායී, කාර්යක්ෂම මගී ප්‍රවාහන ක්‍රමවේදයක් හඳුන්වා දීම රජයේ "දැක්ම 2025 : පොහොසත් රටක්" (V 2025) යන ප්‍රතිපත්තිය හරහා හඳුනාගෙන ඇත.

    Latest News