රාජ්‍ය ආයතන ප්‍රධානීන් පත්කිරීම ගැන ජනපතිගෙන් තීන්දුවක්

ජන 04, 2019

    රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩලවලට සභාපතිවරු සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් පත්කිරීමේ දී ජනාධිපති ලේකම්වරයාගේ චක‍්‍රලේඛය අනුව කටයුතු කළ යුතු බව
    ජනපතිවරයා අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනුම් දෙයි.

    ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් යුතුව 2018-12-31 වන දින PS/PCMD/19/2018 අංක දරන එම චක‍්‍රලේඛය නිකුත් කර තිබේ. එමෙන්ම රාජ්‍ය ආයතන සඳහා සභාපතිවරු හා අධ්‍යක්ෂ මණ්ඩල පත් කිරීමේ දී සුදුසුකම් පරීක්ෂා කර බලා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට ද ජනාධිපතිතුමා පසුගියදා පියවර ගත්තේ ය. ජනාධිපති ලේකම්වරයා සභාපතිත්වය දරන එම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ඩබ්.ජේ.එස්. කරුණාරත්න මහතා සහ අගමැතිවරයා විසින් පත්කරන ලද නියෝජිතයන් දෙදෙනෙක් සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ නියෝජිතයෙකු කටයුතු කරයි. 

    දැනට පත් කර තිබෙන සභාපතිවරුන්ගේ සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ගේ නම් සුදුසුකම් බලා නිර්දේශ කිරීම සඳහා මෙම කමිටුව වෙත යොමු කරන ලෙස ද ජනාධිපතිතුමා අමාත්‍යාංශ ලේකම්වරුන්ට මෙහිදී උපදෙස් දුන්නේ ය. එමෙන්ම මේ පිළිබඳව තමා ඉදිරියේ දී සියලූ අමාත්‍යවරුන්ට ද ලිඛිතව දැනුම්දීමට කටයුතු කරන බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව සඳහන් කළේ අමාත්‍යාංශ ලේකම්වරු සමග ඊයේ (03) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ජාවක දී ය.

    රජයේ වාහන පිළිබඳ විධිමත් වාර්තා පවත්වාගෙන නොයාම හේතුවෙන් සිදුවන අක‍්‍රමිතාවන් පිළිබඳව ද මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා උපදෙස් දුන්නේ එම තත්ත්වය ඉදිරියේ දී වළක්වා ගැනීමට රජයේ වාහන සංචිත පිළිබඳ තොරතුරු විධිමත්ව පවත්වාගෙන යාම සඳහා මුදල් අමාත්‍යාංශය සහ ප‍්‍රවාහන අමාත්‍යාංශය එක්ව වැඩපිළිවෙළක් සකස් කරන ලෙසයි. රජයේ වාහන සංචිතයේ තොරතුරු ඕනෑම කෙනෙකුට අන්තර්ජාලය ඔස්සේ දැන ගැනීමට හැකිවන අයුරින් එම තොරතුරු පවත්වාගෙන යාමට ද ජනාධිපතිතුමා නිලධාරින් උපදෙස් දුන්නේ ය.

    එමෙන්ම සෑම අමාත්‍යාංශ ලේකම්වරයෙකුම මාස 03 කට වරක්වත් තමන්ගේ අමාත්‍යාංශය යටතේ පවතින දෙපාර්තමේන්තු සහ සංස්ථා වෙත ගොස් කාර්ය මණ්ඩලය හමුවී ඒවායේ කි‍්‍රයාකාරිත්වය සහ ගැටලූ පිළිබඳ සොයා බැලීමේ වැදගත්කම ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ ය.

    මත්ද්‍ර්‍ය නිවාරණය සඳහා ගෙන යන වැඩපිළිවෙළට සියලූ අමාත්‍යාංශවල සහාය හිමිවිය යුතු අතර සෑම රාජ්‍ය ආයතනයකම මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකයක් පිහිටුවීම ඇතුළු පසුගිය වසරවල නිකුත් කර තිබෙන චක‍්‍රලේඛ අනුව එහි දී කටයුතු කිරීමේ වැදගත්කම ද ජනාධිපතිතුමා පැහැදිලි කළේය.

    ජනතාව දුගී බවින් මුදා ගැනීම සඳහා දියත් කළ ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය ඉදිරියේ දී පුළුල් ජනතා ව්‍යාපාරයක් බවට පත් කිරීමේ කටයුතු මේ වන විට සිදුවන අතර එය සාර්ථක කර ගැනීම සඳහා අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු සියලූ රාජ්‍ය නිලධාරින්ගේ කැපවීම අත්‍යාවශ්‍ය බව ද ජනාධිපතිතුමා කියා සිටියේ ය.

    එමෙන්ම රටේ සංවර්ධනය සහ ජනතා සුබසෙත වෙනුවෙන් රජය කි‍්‍රයාවට නංවා ඇති සියලූ සංවර්ධන ව්‍යාපෘතිවල ප‍්‍රතිලාභ උපරිමයෙන් පොදු මහ ජනතාව වෙත ලබාදෙමින් 2020 රජයේ සංවර්ධන ඉලක්ක සාර්ථක කර ගැනීම වෙනුවෙන් සියලූ පාර්ශ්වයන් තම වගකීම් සහ යුතුකම් නිසි ලෙස ඉටුකිරීමේ වැදගත්කම ජනාධිපතිතුමා අවධාරණය කළේය.
    ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු මීට එක්ව සිටියහ.

    Last modified on සිකුරාදා, 04 ජනවාරි 2019 13:05

    Latest News