යෝජිත සංවර්ධන සැලැස්මෙන් රත්නපුර නගරයට නව මුහුණුවරක්..ජනපති

ජූලි 20, 2020

    යෝජිත රත්නපුර නගර සංවර්ධන සැලැස්මෙන් නගරයට නව මුහුණුවරක් ලැබෙනු ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.ඒ යටතේ රත්නපුර නගර මධ්‍යයේ අංග සම්පූර්ණ බස්නැවතුම්පොළක් ඉදිකෙරේ. 

    පොදුජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට තරග වැද සිටින අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කරනු පිණිස රත්නපුර දිස්ත්‍රික්කයේ චාරිකා කරමින් අද (19) පස්වරුවේ රත්නපුර සීවලී ක්‍රීඩාංගණය අසළ පැවති ජන හමුවේ දී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

    හිටපු අමාත්‍ය ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න සහ රංජිත් බණ්ඩාර යන මහත්වරු එය සංවිධාන කර තිබිණ.

    කොළඹ - රත්නපුර අධිවේගී මාර්ගයේ වැඩ ආරම්භ කර තිබේ. ගිලීමලේ රෝහල ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ජනතාව කළ ඉල්ලීම ඇමතිණි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත යොමු කෙරිණ. 

    අපේක්ෂක ප්‍රේමලාල් ජයසේකර මහතා නිවිතිගල බස්නැවතුම්පොළ ඉදිරිපිට සංවිධාන කර තිබූ ජන හමුවට ද ජනාධිපතිතුමා සහභාගී විය.අවිසාවේල්ල සිට ඕපනායක දක්වා පැරණි දුම්රිය මාර්ගයට අයත් ඉඩම්වල පදිංචිව සිටින 35,000ක් පමණ පිරිසකට නීත්‍යානුකූල ඔප්පු නොතිබීම පිළිබඳව ද ජනාධිපතිතුමා දැනුවත් කෙරිණ.ඒ පිළිබඳ ගතහැකි ක්‍රියාමාර්ග මොනවාදැයි විමර්ශනය කරන ලෙස ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සහ ස්ත්‍රී දුෂකයන්ට දැඩි දඬුවම් දෙන ලෙස ඉල්ලා සිටි ජනතාව සුරක්ෂිත රටක් ගොඩනැගීමට ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළට පූර්ණ සහය පළ කළහ.

    ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ඇහැළිගොඩ ප්‍රාදේශීය මහලේකම් කාර්යාලය අසළ සහ හිටපු අමාත්‍ය ජානක වක්කුඹුර මහතා කලවාන, අයගම සතිපොළ ඉදිරිපිට සංවිධාන කර තිබූ ජන හමුවලට ද සහභාගි වූ ජනාධිපතිතුමා රැස්ව සිටී ජනතාව සමග සුහද කථා බහක නිරත විය.

    පතල් කර්මාන්තකරුවන් මුහුණපා සිටින ගැටළු එහිදී ජනාධිපතිතුමාගේ අවධානයට යොමු කෙරිණ. ක්ෂේත්‍රයේ සියලු පැතිකඩ ආවරණය කෙරෙන පරිදි බලපත්‍ර නිකුත් කිරීම එක් ආයතනයක් මගින් සිදු කිරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමට ජනාධිපතිතුමාගේ එකඟතාව පළ කෙරිණි.

    Last modified on සදුදා, 20 ජූලි 2020 12:42

    Latest News